Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ඉටුකමේ” යුතුකම සහ කේක් ගෙඩියට අයිසිං දාන අපිත් ගොඩ

ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණ දුන් බරපතල ව්‍යසන කිහිපයකදීම ඉන් ගොඩ එම සඳහා කටයුතු කරනු ලැබුවේ රජයන් සමග එක්වූ මෙරට ජනතාවයි.

බදු, දඩ , නඩු වලින් ජනතාව රජය වෙත ගෙවූ මුදලට අමතරව බලයේ පවතී ඒ ඒ රජයන් විසින් ගනුලැබූ දේශීය සහ විදේශීය ණය මුදල් නැවත නැවත පියවමින් බදු ගෙවමින් කටයුතු කරන්නේද මේ රටේ ජනතාවයි.

නමුත් මෙලෙසින් විවිධ ව්‍යසනයන් හමුවේ රජය විසින් රාජ්‍ය මැදිහත් වීම මත සම්මාදමේ යාම සඳහා කටයුතු සුදානම් කරන්නේ ම ශ්‍රී ලාංකිකයන්ගේ හදවතෙහි වූ වෙනත් කෙනෙකුගේ දුකේදී මතුවන මනුෂ්‍යත්වය පිළිබඳවද හොදින්ම දන්නා නිසා වන්නට පුළුවන.

සුනාමි සහන අරමුදල (හෙල්පින් හම්බන්තොට ගිණුම) , අපි වෙනුවෙන් අපි අරමුදල, ඉටුකම කොවිඩ් මර්දන අරමුදල වැනි අරමුදල් රජය මැදිහත්ව සම්මාදම් කල වැඩි වශයෙන් මුදල් බැර වූ මෑතකාලීන සම්මාදම් බව අවිවාදිතය.

ඒ අතරින් කොවිඩ් වසංගතයට රටක් ලෙස මුහුණ දීම වෙනුවෙන් සම්මාදම් කෙරුණු “ඉටුකම” අරමුදල මේ දිනවල වැඩි කතා බහකට ලක්ව තිබේ.

එම අරමුදලට මේ රටට ආදරය කරන මිනිසුන් විසින් කොපමණ මුදලක් බැර කරන්නට ඇතිද ? රජය එම මුදල් කෙසේ වියදම් කරන්නට ඇතිද ? යන්න පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට තිබු පැනයන්ට ආණ්ඩුව මේ වන විට පිළිතුරු ලබා දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල Face Book පිටුවෙහි “ඉටුකම” අරමුදලේ අය-වැය වාර්තාව දක්වා ඇත්තේ මෙලෙසින්,

උපුටා ගැනීම..

කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේ වනවිට පවතින රුපියල් 1,360,922,969.24ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කෙරේ.

අරමුදලට බැර වූ මුළු මුදල රු. 1,752,402,793.24කි. මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් 391,479,824.00 ක් වේ.

එය සමස්ථ එකතු වූ මුදලින් 23% කි.ඉතිරිව ඇති ශේෂය එන්නත්කරණ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදලට සාපේක්ෂව ඉතා‍ කුඩා ප්‍රමාණයකි.

එහෙත් අරමුදලේ ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමේ වැදගත්කම අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් පෙන්වා දී තිබේ.

අරමුදල මුදල් වැය කළ ආකාරය පහත පරිදි වේ.වසංගතය වෙනුවෙන් දරා ඇති වියදම්

➢ PCR පරීක්ෂණ ආශ්‍රිත වියදම් – 42,605,812.00

➢ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා – 67,543,967.00

➢ නිරෝධායන කටයුතු සඳහා වූ ආශ්‍රිත වියදම් – 38,031,065.00

➢ පරිපාලන වියදම් – 3,000.00ගෙවීමට ඇති බැරකම්

➢ එන්නත්කරණය ආශ්‍රිත වියදම් – 41,545,980.00

➢ ගිලන් රථ 10ක් මිලදී ගැනීම සඳහා – 194,000,000.00

➢ ICU ඇඳන් මිලදී ගැනීම සඳහා – 7,750,000.00ගෙවා ඇති සහ ගෙවීමට ඇති මුලු වියදම – 391,479,824.00

මෙම සියලු වියදම් දරා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා යුධ හමුදා මූලස්ථානය මඟිනි.

ජනතාව, දේශීය ආයතන කිහිපයක් හා විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉටුකම කොවිඩ් අරමුදලට මුදල් පරිත්‍යාග කළහ.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෝ සංවිධාන කොවිඩ්-19 අරමුදලට දායක වී නැත.ජාත්‍යන්තර නීති අනුව විදේශ ආධාර හා පරිත්‍යාග සිදු කෙරෙනුයේ මහා භාණ්ඩාගාරය වෙතය.

මෙම අරමුදලත්, ජාත්‍යන්තර ආයතන වලින් ලද පරිත්‍යාගත් අතර කිසිදු සම්බන්ධතාවයක් නැත. තවද 2020 වර්ෂය තුල කොවිඩ් 19 අරමුදලට මහජන පරිත්‍යාග වැඩි වශයෙන් ලැබුනද, 2021 වර්ෂයේ අප්‍රේල් මස තෙක් ලැබී ඇති පරිත්‍යාග වල මාසික සාමාන්‍ය රුපියල් මිලියන 7ක් පමණ වේ.

මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන් තුල ප්‍රචාරණය වන තොරතුරු සත්‍ය නොවන අතර 2020 වර්ෂයේ අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බාර දී ඇතැයි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය කියා සිටී.

මෙම ගණන් හිලව් ලෙහෙසියෙන් කියවා ගැනීමටද අපහසුය. මුල් ඉලක්කමේ අගට දී ඇති ඉල්ලක්කම් තරමටම ගණුදෙනු වල සංකීර්ණ බවද වැඩි වන බව රහසක් නොවේ.

මෙම සංඛ්‍යා ලේඛන වලට අනුව ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ජනතාව විසින් පරිත්‍යාග කර ඇති මුදල රුපියල් එක් බිලියන හත්සිය පනස් දෙමිලියන හාරසිය දෙදාස් හත්සිය අනු තුනයි ශත විසි හතරක (1,752,402,793.24) මුදලකි.

අයවැය වාර්තාව අනුව ජනතාව ලබාදුන් මුදල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් කර ඇත්තේ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහාය.

එය රුපියල් හැටහත් මිලියන පන්සිය හතලිස් තුන්දහස් නමසිය හැට හතක (67,543,967.00) මුදලකි. ලක්ෂ වලින් කියනවා නම් ලක්ෂ 675 කට වැඩ වැඩි මුදලකි.

කොවිඩ් ප්‍රචාරණ වියදම එලෙස සටහන් වන විට නිරෝධායන කටයුතු සඳහා එම අරමුදලින් පමණක් රජය වැය කර ඇති මුදල රුපියල් තිස් අට මිලියන තිස් එක්දහස් හැටපහකි (38,031,065.00)

එන්නත්කරණය සඳහා නොව එන්නත්කරණය ආශ්‍රිත වියදම් සඳහා රජය ඉටුකම අරමුදලින් රුපියල් හතලිස් එක් මිලියන පන්සිය හතලිස් පන්දහස් නමසිය අසුවක (41,545,980.00) මුදලක් වැයකර තිබේ.

PCR පරීක්ෂණ සඳහා නොව ඒ ආශ්‍රිත වියදම් වෙනුවෙන් වය කර ඇති මුදල රුපියල් හතලිස් දෙමිලියන හයසිය පන්දහස් අටසිය දොළහකි (42,605,812.00)

ඒ අතර වාරයේ එම අරමුදල් යොදා ගනිමින් රජය විසින් ගිලන් රථ 10ක් ද මිලදී ගත් බවද මෙහි දක්වා තිබේ.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 194කි (194,000,000.00).

ඒ අනුව එක් ගිලන් රථයක මිල රුපියල් ලක්ෂ 194 ක් වන බවට ගණන් හදා ගත හැකිය.

ICU ඇඳන් මිලදී ගැනීම සඳහා ඉටුකම අරමුදල හරහා වියදම් කොට ඇති මුදල රුපියල් හත් මිලියන හත්සිය පනස් දහසකි (7,750,000.00)

මේ ආදී වශයෙන් ජනතාව විසින් පරිත්‍යාග කල රුපියල් එක් බිලියන හත්සිය පනස් දෙමිලියන හාරසිය දෙදාස් හත්සිය අනු තුනයි ශත විසි හතරක (1,752,402,793.24) මුදලකින් රුපියල් තුන්සිය අනු එක් මිලියන හාරසිය හැත්තෑනමදහස් අටසිය විසි හතරක මුදලක් (391,479,824.00) රජය මේ වන විටත් වියදම් කර තිබේ.

ඉතිරි රුපියල් එක් බිලියන තුන්සිය හැට මිලියන නමසිය විසිදෙදහස් නමසිය හැට නමයක මුදල (1,360,922,969.24) එන්නත් මිලදී ගැනීම සඳහා වැය කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

මේ වන විට මෙරටට එන්නත් ලැබෙන්නේ පරිත්‍යාග ලෙස බවද කියවේ.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ජනගත කරන ආකාරයට චීනය, ඉන්දියාව , රුසියාව අපට එන්නත් ලබා දෙන්නේ මහා කරුණාවෙන් මිස මුදලට නොවේ.

නමුත් සත්‍ය වශයෙන්ම අදාළ එන්නත් සඳහා විශාල මුදලක් වය වන බව අප අසා ඇත.

සාමාන්‍යයෙන් ඉන්දියවේ සීරම් ආයතනය නිෂ්පාදනය කළ එන්නත් මාත්‍රාවක් ඩොලර් 4 – 6 අතර මුදලකට අලෙවි විය.එය රුපියල් වලින් 1000 කට ආසන්න මුදලකි.

රුසියානු ස්පුට්නික් v එන්නත අලෙවි වුයේ ඩොලර් 10 ක පමණ මිලකටය. එනම් රුපියල් 2000 ක පමණ මිලකටය.

දැනට ලංකාවේ එන්නත් අවශ්‍යතාවය පිරිමැසීම සඳහා වහා ඉදිරිපත් වී ඇති චීනය තම එන්නතක මිල ඩොලර් 70 ක් ලෙස සඳහන් කර තිබේ.

එය රුපියල් වලින් ගතහොත් රුපියල් 13 000 – 14 000 අතර මුදලකි.

එන්නත් වල මිල ගණන් එහෙමය.

අරමුදලේ මුල්‍ය තත්වයත් එහෙමය.

අපේ රටේ මිනිසුන් දනට පිනට දුන් දේ වල ගණන් බලන්නේ නැත. ඒ අපේ රටේ සංස්කෘතියේ හැටිය. නමුත් මේ වන විටත් මෙම අරමුදල ගැන විවිධ කණ්ඩායම් විවිධ චෝදනා නගමින් සිටින බව ජනාධිපතිතුමන් විසින්ම තම නිල Face Book පිටුවෙහි ම දක්වා තිබේ.

ඔහු පවසන්නේ එලෙස විවිධ මාධ්‍ය විසින් මතු කරන චෝදනා සාවද්‍ය බවය.

ලිපිය ආරම්භයේදී සඳහන් කළ ප්‍රධාන අරමුදල් දෙක වන “සුනාමි සහන අරමුදල” සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් සම්මාදම් කරන ලද “අපි වෙනුවෙන් අපි” යන ප්‍රධාන අරමුදල් සම්බන්ධයෙන් මෙන්ම හෙල්පින් හම්බන්තොට වැනි සම්මාදම් පන්නයේ ගිණුම් වල පාරදෘශ්‍ය භාවය පිළිබඳ සමාජයේ මෙන්ම අධිකරණ වලින් අසන්නට ලැබුණු කතා නම් සුමිහිරි නොවේ.

ඒවා සම්මාදමට එක් වූ සහ ඒවායේ ප්‍රතිලාභ ජනතාව අතර බෙදාහැරීමට සම්බන්ධ වුවන් එම අරමුදල් සතෙටම වියදම් කළාද? නැත්නම් ගමේ භාසවෙන්ම කියනවානම් සුපිරියට මාටියා ගැහුවා ද ? යන්න දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

ඇතැම් විට දෙවියන්ටත් පාර කියන ශ්‍රී ලංකාවේ දෙව්ලොව නිත්‍ය නියෝජිත දේවදාසියන් සහ දේවගැතියන් හරහා දෙවියන්ටත් කොලේ වහලාදයි කියන්න අපි නම් දන්නේ නැත.

නමුත් ඔය අරමුදල් සම්මාදම් ගැන අසන්නට ලැබුණු කතා නම් නිවහල් මනසක් ඇති ජනතාවට හොදින් මතකය.

සරත් එන් සිලවා නම් අගවිනිසුරුවරයා තමා නඩු විසදු අපුරුව ගැන මඤ්ඥං පාපොච්චාරණයක් ද කරමින් එකවරක් නොව දෙතුන්පාරක් එක දිගට රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේ මේ ආකාරයේ සම්මාදම් ගිණුමක් වූ හෙල්පින් හම්බන්තොට ගිණුමේ මුල්‍ය වංචාවට සම්බන්ධ හිරේ සිටිය යුත්තන්ට දඩුවම් ලබා දීම සිදු නොකිරීමේ වරදට එවකට අග විනිසුරු වූ තමන්ට සමාවන දෙන ලෙස අයදිමිනි.

රටේ අගවිනිසුරුවරයෙකුගේ කතාව එය නම් අනෙක් ඒවා ගැන කතා කර මක්කටෙයි කියා අපට සිතෙන්නේ රටේ යුක්තිය පසදිලීමේ විනය පිළිබඳ මතුවන සාතිශය සංවේගයක් ද සමගිනි.

එමෙන්ම අපි වෙනුවෙන් අපි අරමුදලේ, අරමුදල් සම්බන්ධයෙන්ද විවිධ චෝදනා එල්ල විය.

සැබවින්ම අපේ රටේ කිසිවක් කරන්නට බැරිය.

එක්කෝ වැඩ කරන එවුන් හොරකම් කරනවාය.

නැත්නම් මෙන්න හොරකම් කරනවෝ කියා වෙන එවුන් මැදට පැන කෑකෝ ගසා වැඩේ බකල් කර දමනවාය.

ඇත්තටම මේ රටට මෙහෙම් වෙන්නේ ඇයි?

ප්‍රශ්නයද අපේය. රටකට විනයක් තිබිය යුතුය.

ඒ විනය අපි ඉස්කෝලේ යන කාලයේ රැවුල් කොන්ඩ කපා, පිළිවෙලට පාසල් නිල ඇඳුම ඇදගෙන පාසල් ගිය මට්ටමේ විනයක් නොවේ.

අපි මේ කතා කරන්නේ රටක තිබිය යුතු මුල්‍ය විනය පිළිබඳවයි.

මහතීර් මොහොමඩ් ලා , ලික්වාන් යු වැනි නායකයින් මැලේසියාව , සිංගප්පූරුව වැනි රටවල් සුර පුරයන් බවට පත් කලේ එම රටවල මේ මුල්‍ය විනය ඇති කිරීමෙනි.

විගණනයට ප්‍රමුඛත්වය හිමිවිය.

ගනුදෙනු වලදී ජනතාවට අහිමිවන , හොරාකන මුදල ඉතිරි කර ගන්නට මේ හරහා හැකිවිය.

මහජන මුදල් හොරකම් කල වුන්ට දැඩි දඩුවම් පැනවුණි.

මහතිර්ලා , ලීක්වාන් යූ ලා කියූ විදියට ඒ නායකත්වය යටතේ එම රටවල් ඉදිරියටම ගියා මිස හොරුන්ගේ චාටු බසට, රැවටීමට, දිනුම ලැබී අධිකරණය, විගණනය ඒ අණසක හමුවේ යටපත් වුයේ නැත.

නැවත වතාවක් අපි අපේ රටේ වර්තමානය දෙස බලමු.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියන ලෙසම “ඉටුකම” සමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳවද මේ වන විට යම් අවලස්සන කතාවක් බහක් නිර්මාණය වී තිබේ.

එසේ නම් ජනාධිපතිවරයා පවසන පරිදිම 2020 වර්ෂයේ අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බාර දී ම නුවනට හුරුය.

එවිට එම මුල්‍ය විනය පිළිබඳ යම් පිළිගත හැකි නිගමනයකට පැමිණීමට ජනතාවට හැකිවනු ඇත.

නමුත් ලංකාවේ විගණන ක්‍රියාවලියේ පාරදෘශ්‍ය භාවය පිළිබඳ දැන් විශ්වාසයක් තබා ගත හැකිද?

යහපාලන සමයේ විගණකාධිපතිවරයා ගමේ භාෂාවෙන් කියනවානම් මාරම පොරක්ය.

මාධ්‍යට පැමිණ රාජ්‍ය ආයතන වල විගණන ක්‍රියාවලිය ගැන නොභියව කතා කළ හැටි අපට අමතක නැත.

නමුත් අද ලංකාවේ විගණකාධිපතිවරයෙක් කියා තනතුරක් තිබෙනවාදැයි කියා දැනගන්නටවත් නැති තරමට සියල්ල නිහඬය.

යහපාලන ආණ්ඩු සමයේ බලාත්මක කල ස්වාධීන විගණන කොමිසම වත්මන් ආණ්ඩුව, සිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අක්‍රිය කර දැමීය.

අනෙක් බරපතල කරුණ ජනාධිපතිවරගේ භාරයේ පවතින ආයතන සහ මුල්‍ය පිළිබඳ විගණනය කිරීමට තිබු බලයද යම් කප්පාදුවකට ලක් කර දැමීමයි.

එම තත්වය තුල ජනාධිපති ලේකම් කාර්යාලය හරහා කළමනාකරණය කල මෙම අරමුදල විගණනයට ලක් කල හැකිද?

මේ තුළ අපට ස්වාධින විගණන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ බලාපොරොත්තු විය හැකිද?

කියන්නන් වාලේ විගණනය කරනවා කියා කියන්නේ, තීන්දුව කලින්ම ලියා දී බොරුවට නඩු අහනවා වගේ කෙලියක් දැයි දන්නේ කාරිය කරන උන්ම පමණි.

එබැවින් ජනාධිපතිවරයා වහා කල යුතුව ඇත්තේ මහතිර්ලා මෙන්, ලීක්වාන් ලා මෙන් වහා රට තුළ මුල්‍ය විනය ඇති කිරීම සඳහා පියවර ගැනීමයි.

විගණන ක්‍රියාවලිය විධායකයයේ හෝ ව්‍යවස්ථාදායකයේ සපත්තුවට නොපෑගෙන ලෙසත්, විධායකය සහ ව්‍යවස්ථාදායකය සඳහා පිළිතුරු දීමට සහ වගකීමට පමණක් බැඳී සිටින ස්වාධීන යාන්ත්‍රණයක් බවට පත් කිරීම ඒ සඳහා ඇති සුදුසුම විකල්පයයි.

එසේ නොමැතිව රටේ ගනුදෙනු ගැන කුමක් කීව ද ඉස මොළ ඇති නිවහල් මිනිසුන්ට එය විහිළුවක් පමණක් ම වනු ඇත.

ඒ අප සියල්ලන්ම එක් වී තවදුරටත් අයිසිං කරන්නේ පුස් කේක් ගෙඩියක් වන බැවිනි.

එබැවින් ගරු ජනාධිපතිතුමනි “මේ අවස්ථාව රට බේරා ගැනීමට ඔබට ලැබෙන අවසන් අවස්ථාව බව ඔබ ඇතුළු පිරිස කී විට එය අසා ඔබට ඡන්දය දුන් බහුතරයක් මිනිසුන් දැන් ඔබෙන් එම ඉල්ලීමම කරමින් සිටි”

“ජනාධිපතිතුමනි රට බේරා ගැනීමට , රටේ මුල්‍ය විනය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්මයන් ආරක්ෂා කිරීමට ඔබට ලැබී ඇති අවසන් අවස්ථාව මෙය විය හැකියි. එබැවින් අප්‍රමාදව ඉන් උපරිම ප්‍රයෝජනය ගන්න” ඒ ඔවුන්ගේ බහුතරයකගේ ඉල්ලීමයි.

“ඉටුකම” වෙනුවෙන් හෝ පටන් ගෙන ඒ යුතුකම ඔබ ඉටුකළහොත් නිසැක වශයෙන්ම ප්‍රබුද්ධ ජන සමාජය තුල උදාරතර ජන නායකයෙකු බවට ඔබ පත්වනු නොවනුමානය.

© මී මැස්සා

About The Author