Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආර්ථික ඉතා අසීරු අඩියක : ණය සහනයක් හෝ ලබා දෙන්න : ජනපති ඉන්දියානු සාගර සමුළුවේදී ඉල්ලයි

එන්නත්කරණය වෙනුවෙන් සෙසු රටවලින් ලද සහයෝගයට කෘතවේදීත්වය ද පළකරයි

වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලුදෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි හි ඊයේ (04) පස්වරුවේ ඇරඹි පස්වැනි ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

සෞඛ්‍යය, ආර්ථික, ආරක්ෂාව, දේශගුණය, කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයා සිය කතාවේ දී අවධානය යොමු කර තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකය බරපතල අගාධයකට ඇද වැටී ඇති බවත් ලංකාව ද එම අර්බුදයට මුහුණ දී ඇති පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන්නේ ඉන් ගොඩ ඒම සඳහා සෙසු රටවල දායකත්වය අවශ්‍ය වන බවයි.

විශාල වශයෙන් ණය වී ඇති තත්ත්වයක් තුළ එම වාරික පවා ගෙවා ගැනීමට නොහැකි ආර්ථික තත්ත්වයකට රටවල් රැසක් මේ වන විට මුහුණ දී ඇති බවත් මෙම තත්වය සලකා බලා ණය සහන ලබාදීමට හැකි නම් එය අගය කොට සලකන බවත් , තමන් එය බලාපොරොත්තු වන බවත් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ සම්පූර්ණ කතාව පහලින්

සම්භාවනීය ආරාධිතයිනි,නෝනාවරුනි මහත්වරුනි,​

5 වැනි ඉන්දීයානු සාගර සමුළුව වෙත ඔබ සැම පිළිගැනීමට ලැබීම ගැන මට ඉතා සතුටු වෙමි.

ආරම්භයේදීම, මෙම සමුළුව සඳහා දරන ලද උත්සාහයන් වෙනුවෙන් ඉන්දියා පදනම, සිංගප්පූරුවේ නැන්යන්ග් (Nanyang) තාක්ෂණ විශ්ව විද්‍යාලයේ S. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පාසල සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සහ සංවිධායක කමිටුවට වෙත ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ඉන්දියානු සාගර සමුළුව, මෙම කලාපයේ රටවලට මෙන්ම අපගේ හවුල්කරුවන් ඇතුළු සියලුදෙනාට බලපාන තීරණාත්මක ගැටළු පිළිබඳව සාකාච්ඡා කිරීමට අගනා අවස්ථාවක් සපයයි.මෙවර සම්මන්ත්‍රණයේ තේමාව “පරිසර විද්‍යාව, ආර්ථිකය, වසංගතය” යන මාතෘකා තුනක් මත කේන්ද්‍රගත වී ඇත.

එම මාතෘකාවන් අපගේ උපරිම අවධානයට හා ගැඹුරු සැලකිල්ලට භාජනය විය යුතුය.අද අප මෙහි මුණගැසෙන අවස්ථාවේ, මේවායින් වඩාත්ම ප්‍රමුඛ හා වැදගත් වන්නේ සමස්ත ලෝකයටම පුළුල් වශයෙන් කොවිඩ් 19 වසංගතය මඟින් අඛණ්ඩව ඇති කරන බලපෑමයි.

COVID-19 වෛරසය 2020 පළමු කාර්තුවේදී ලොව පුරා පැතිරීමට පටන් ගත් විට, එය සියලු ජාතීන්ට බරපතල අභියෝගයක් විය.සමහර විට ඉතිහාසයේ පළමු වතාවට, ප්‍රමාද නොවී ගෝලීය වසංගතයක පුළුල් ව්‍යසන ස්වභාවය සක්‍රීයව හඳුනා ගැනීමට, වැළැක්වීමට සහ වළක්වා ගැනීමට උත්සාහ කිරීමට මානව වර්ගයාට නවීණත්වය සහ සම්පත් ලැබී තිබුණි.

සියලුම රටවල් පාහේ ජීවිත බේරා ගැනීම සඳහා හදිසි පියවර ගෙන ඇත.දේශසීමා වසා දැමීම්, රටවල් වසා දැමීම් සහ සෞඛ්‍ය පරීක්ෂා කිරීම් මෙන්ම ආසාදිතයින් හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම සහ වෛරසය පුළුල් ජනගහනයට පැතිරීමට පෙර ඔවුන්ගේ සම්බන්ධතා ඉක්මනින් හඳුනාගැනීම සහ නිරෝධායනය කිරීම මෙයට ඇතුළත් වේ.

මෙම නව තර්ජනයට ගෝලීය ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීමේදී මෙම කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද දක්ෂ නායකත්වය ඉතා වැදගත් විය.දත්ත සහ තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කර ගැනීම, සෞඛ්‍ය සේවා පද්ධතිවල ධාරිතා ගොඩනැගීමට සහය වීම සහ මූල්‍ය ආධාර ඇතුළුව වසංගතයේ මුල් අවධියේදී පවත්වාගත් ජාතීන් අතර සහයෝගීතාව සැබවින්ම ප්‍රශංසනීය විය.

ලොව පුරා සිටින සෞඛ්‍ය සේවකයින්, විද්‍යාඥයින් සහ අත්‍යවශ්‍ය සේවකයින් විසින් කරන ලද පරාර්ථකාමී සේවාව සමඟින් ඇතිකරගත් ජාත්‍යන්තර සහයෝගීතාවය මෙම වසංගත කාලය තුළදී මානව වර්ගයාට උපකාරී විය.

වෛරසය පැතිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් පියවර ගත්තේය.අපගේ වසංගත ප්‍රතිචාරය අධීක්ෂණය කිරීම සඳහා රජය තුළ සහ ඉන් පිටත සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් ඇතුළත් ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවන ලදී.

වෛරසය සම්ප්‍රේෂණ වන සංඛ්‍යාව බිංදුවට ආසන්නව ගෙන ඒමෙන් පසු රට නැවත විවෘත කිරීමට පෙර වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ මාර්තු අගදී දේශසීමා වසා දැමීමෙන් පසුව, සති කිහිපයක් සඳහා පූර්ණ වශයෙන් රට වසාදැමීම ද සිදු කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බාහිර අනෙකුත් රාජ්‍ය ආයතන මේ අවස්ථාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට සහාය වෙමින් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය.හමුදාව ඉතා ඉක්මනින් නව නිරෝධායන මධ්‍යස්ථාන සහ ප්‍රතිකාර පහසුකම් ඉදිකරන ලදී.

ඊට අමතරව අපගේ නිරෝධායන වැඩසටහන කළමනාකරණය ඔවුන් සිදුකළ අතර, පොලීසිය සමඟ එක්ව, රෝගීන්ගේ සම්බන්ධතා සොයා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය නිලධාරීන්ට ද උදව් කරන ලදී.මේ නිසා අපගේ වෛද්‍ය අංශවලටත් සෞඛ්‍ය සේවකයන්ටත් වසංගත ප්‍රතිචාර කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබුණි.

දෛනික වැටුප් ලබන්නන්ට සහ සමාජ සුබසාධන යෝජනා ක්‍රමවල සහාය ලබන අයට මුදල් සහ වියළි සලාක ප්‍රදානයන් ඇතුළුව, රට වසා දැමීමෙන් පීඩාවට පත් පුරවැසියන්ට රජය සහාය විය.

පළමු අවස්ථාවේ රට වසාදැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීමෙන් පසුව පවා, මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය ඇතුළු දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක විය.නව ආසාදන රැල්ලක් පැතිර යන සෑම විටම ප්‍රාදේශීය මෙන්ම රටපුරා සීමාවන් නැවත පනවනු ලැබීය.

ශ්‍රී ලංකාවේ අවසන් රට වසාදැමීම 2021 ඔක්තෝම්බර් මාසයේදී අවසන් වූ අතර, ඉන් පසුව රට සෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත.අපගේ එන්නත් වැඩසටහනේ විශිෂ්ට සාර්ථකත්වය මෙයට හේතු විය.

අප දැන් වයස අවුරුදු 16 ට වැඩි සියලුම දෙනාගෙන් 85% කට COVID19 එන්නත මාත්‍රා දෙකම ලබා දී අතර 98% කට එක් මාත්‍රාවක් ලැබී ඇත.

මෙම වේගවත් එන්නත් ලබාදීම හමුදාව විසින් තවදුරටත් පහසු කරන ලද අතර, වාර්තාගත කාලයකදී අපගේ මහජනතාව ආරක්ෂා කිරීමට උපකාර කිරීම සඳහා ඔවුන් විසින් රට පුරා ජංගම සේවා ඇතුළු එන්නත් මධ්‍යස්ථාන පිහිටුවා ක්‍රියාත්මක කරන ලදී.

එන්නත්කරණයේදී ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය යන රටවල ත්‍යාගශීලීභාවය අපි බෙහෙවින් අගය කරන්නෙමු. ඔවුන් සියල්ලෝම සෘජුව හෝ COVAX පහසුකම හරහා අපට එන්නත් පරිත්‍යාග කළ අතර, එමඟින් ශ්‍රී ලංකාව නිෂ්පාදකයින්ගෙන් වාණිජමය කොන්දේසි යටතේ මිලදී ගත් එන්නත් විශාල ප්‍රමාණයත් සමඟ සමස්ත එන්නත් ප්‍රමාණය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් විය.

ඒ අතරම, ලෝකයේ සමහර කලාපවල එන්නත්කරණය සාපේක්ෂ වශයෙන් මන්දගාමීව ක්‍රියාත්මක වීම නිසා වෛරසයේ විනාශකාරී ප්‍රභේදයක් මතුවීම කනස්සල්ලට කරුණකි.

ඉදිරි දින සහ සති කිහිපය තුළ මෙම තත්ත්වය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ යුතු වේ.පවතින එන්නත් මෙම නව Omicron ප්‍රභේදයට එරෙහිව ඇත්ත වශයෙන්ම ඵලදායීතාව අඩුනම්, බරපතල ප්‍රතිවිපාක සමඟින්, දේශසීමා වසා දැමීම් සහ නැවත වරක් පනවන ලද ‘ලොක්ඩවුන්’ ඇතුළු අනෙකුත් සීමා කිරීම් සමඟින් ලෝකය ඉක්මනින්ම ආපස්සට යා හැකිය.

එබැවින්, ධනවත් බවින් අඩු රටවල එන්නත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් ඵලදායි ලෙස සහාය දෙන ලෙස මම එසේ කිරීමට හැකියාව ඇති ජාතීන්ගෙන් ඉල්ලා සිටිමි.සෑම තැනකම සෑම දෙනාම වෛරසයට එරෙහිව එන්නත් කරන තුරු COVID19 වසංගතය අවසන් නොවනු ඇත.

මෙය සාක්ෂාත් කර ගත හැක්කේ ජාතීන් අතර දැඩි සහයෝගීතාවයෙන් සහ විශේෂයෙන් ධනවත් ජාතීන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන සහයෝගයෙන් පමණි.

වසංගතයෙන් පසු ගෝලීය ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා ද එවැනි සහයෝගීතාවයක් අවශ්‍ය වනු ඇත.ජීවිත අති විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමේ කටයුත්තක් මිල කළ නොහැකි වුණද, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොව පුරා ගත් ක්‍රියාමාර්ග වෙනුවෙන් දැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇත.

මෙම පියවරයන් නිසා ඇති වූ ආර්ථික ක්‍රියාකාරකම්වල ශීඝ්‍ර මන්දගාමීත්වය නිසා ගෝලීය සංචාර, වෙළඳාම සහ ආර්ථික වර්ධනය කෙරෙහි බරපතල දිගුකාලීන ප්‍රතිවිපාක ඇති කර ඇත.

විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත මෙය ඉතා දරුණු ලෙස බලපා ඇත.සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අහිමිවීම, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය අහිමිවීම සහ අපනයන ආදායම අහිමිවීම විශේෂයෙන් ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇත.

සෞඛ්‍ය හා සමාජ සුබසාධන වැඩසටහන් සඳහා අවශ්‍ය ඉහළ රාජ්‍ය වියදම් මෙන්ම ආර්ථික පූනර්ජීවනය සඳහා අවශ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති සමඟ ඒකාබද්ධ වූ විට, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් දැන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇත.ඔවුන්ගේ සංවර්ධන වැඩසටහන් සඳහා සැලකිය යුතු විදේශ ණය ලබාගෙන ඇති රටවල් වලට විශේෂයෙන් මෙය දරුණු ලෙස බලපාන අතර, ණය ආපසු ගෙවීමේ වගකීම් සපුරාලීම සඳහා ඇත්තේ ඉතා සුළු සංචිත ප්‍රමාණයකි.

කනගාටුවට කරුණක් නම්, ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද නායකත්වය හා සළකා බලන කල, රටවවලට ඔවුන්ගේ ආර්ථික ප්‍රකෘතිය සඳහා උපකාර කිරීමට කිසිදු ලෝක ආයතනයක් ඉදිරිපත් වී නොමැත.

ගෝලීය ආර්ථිකය වෙනුවෙන් එවැනි කාර්යභාරයක් ඉටුකිරීම භාරගත හැකිව තිබූ අන්තර් රාජ්‍ය කණ්ඩායම්, කලාපීය කණ්ඩායම්, බහුපාර්ශ්වික සංවිධාන සහ තනි රටවල් එසේ කිරීමට ඉදිරිපත්වී නොමැත.

මෙය අවාසනාවකි.

වසංගතය පොහොසත් හා දුප්පත් රටවලට එකසේ බලපා ඇතත්, දුප්පත් රටවලට අසමානුපාතික බලපෑමක් දරාගැනීමට සිදුව ඇත.

වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුන විදේශ ප්‍රරේෂණ අහිමිවීම සමනය කර ගැනීම හෝ ඒවා වෙනුවෙන් සහන සැලසීම කුඩා ආර්ථිකයන් සඳහා පහසු නොවේ.

දැනටමත් බාහිර ණය බැඳීම්වලින් බලපෑමකට ලක්වී ඇති ආර්ථිකයන් සඳහා එය විශේෂයෙන් දුෂ්කර ය.

එබැවින්, වසංගතයෙන් පසුව බලවත් පරිශ්‍රමයක් දරන දුප්පත් රටවල ණය ආපසු ගෙවීම සඳහා සමාව දීමට, ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ සහන කාල සීමා සැලසීමට ධනවත් ජාතීන්ට මෙන්ම බහුපාර්ශ්වික සංවිධානවලට වැඩි ක්‍රියාමාර්ග ගත හැකි නම් එය බෙහෙවින් අගය කෙරනු ඇත.

මෙවැනි සහයෝගයක් එම රටවලට ඔවුන්ගේ අවශ්‍යතා වලදී බෙහෙවින් උපකාර වන අතර වඩාත් පුළුල් ලෙස, වේගවත් වූ ගෝලීය ප්‍රකෘතිය ඇති කිරීමට සහාය වනු ඇත.

ඉදිරියේදී එවැනි සහයෝගයක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වන්නෙමි.

වසංගතය පෙන්වා දී ඇති පරිදි, එක් රටක ඇති අහිතකර තත්ත්වයන් ඉක්මනින් පුළුල් වූ කලාපයමත් අවසානයේ දී මුළු ලෝකයටමත් බලපෑම් ඇති කළ හැකිය.

වසංගත, ආර්ථිකය හෝ පරිසර විද්‍යාව සම්බන්ධයෙන් ජාතීන්ට බලපාන ගැටලු විසඳීමට කලාපය පුරා රටවල් සහ සමස්ථයක් වශයෙන් ලෝකයම එක්ව කටයුතු කළ යුත්තේ එබැවිනි.

මෙම සන්දර්භය තුළ, පවතින දේශගුණික අර්බුදය මානව වර්ගයා විසින් ජයගත යුතු දුෂ්කරම අභියෝගය විය හැකිය.මෑතදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව පෙන්වා දී ඇති පරිදි, මෙම තීරණාත්මක ගැටලුව සම්බන්ධයෙන් සැබෑ ගෝලීය සම්මුතියක් සාක්ෂාත් කර ගැනීම දුෂ්කර ය.

එසේ වුවද, වන විනාශය සීමා කිරීම, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම, සීමිත සම්පත් සුරා කෑම වැළැක්වීම සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය වේ.

දේශගුණික විපර්යාසවලට ගොදුරු විය හැකි සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්යක් ලෙස ශ්‍රී ලංකාවට මෙම අනතුරු පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇත.

දේශගුණික විපර්යාස නිසා ඇති වූ අයහපත් කාලගුණික රටා පසුගිය දශකය තුළ දැනටමත් අවස්ථා කිහිපයකදීම රටට බලපා ඇත.මෙම සංසිද්ධිවල බලපෑම ඉදිරි කාලය තුළ වඩාත් නරක අතට හැරීමේ සෑම සම්භාවිතාවක්ම තිබේ.

බොහෝ ප්‍රමාද වීමට පෙර අප දැන් ක්‍රියාත්මක විය යුතුය.පවතින දේශගුණික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වේදිකාවේ ක්‍රියාකාරීව කටයුතු කරයි.වසර 2019 දී, තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය සකස් කරන ලද්දේ 2030 වන විට ගෝලීය වශයෙන් හානිකර නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමේ ඉලක්කයට සහාය වීම සඳහා ය.

ශ්‍රී ලංකාව, නව ගල් අඟුරු විරහිත බලශක්ති සම්මුතියේ සම – නායකයෙකු වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය නිල් ප්‍රඥප්තිය යටතේ පවතින කඩොලාන වගාකිරීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.ජාතික මට්ටමින්, 2030 වන විට අපගේ බලශක්ති අවශ්‍යතා සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාදෙන දායකත්වය 70% දක්වා වැඩි කිරීමට මගේ රජය ප්‍රතිඥා දී ඇත.

ජාතික වන ආවරණය ඉහළ නැංවීමට අපි ප්‍රමුඛත්වය දී ඇති අතර අද සිට වසර 2030 දක්වා කාලයේදී 7% කින් අපගේ කාබන්හරණ කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකාව වසර 2050 වන විට කාබන් ශුණ්‍යයකරණය ළඟා කර ගැනීමට ද අපේක්ෂා කරයි.කෘත්‍රිම පොහොර භාවිතය දැඩි ලෙස අධෛර්යමත් කර ඇති අතර, අනාගතයේදී රට තුළ කාබනික කෘෂිකර්මාන්තය ශීඝ්‍ර ලෙස සංවර්ධනය කිරීමට සහාය වීම අපගේ ප්‍රතිපත්තියයි.

දේශගුණික විපර්යාසවලට සම්බන්ධ නමුත් ඊට වෙනස් වූ පාරිසරික ගැටළු සම්බන්ධයෙන් ද ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රාශියක් අවශ්‍ය වේ.මෙම වසර මුලදී, ශ්‍රී ලංකාවේ කොළඹ වෙරළට ඔබ්බෙන් වූ X-Press Pearl කන්ටේනර් නෞකාව ගිනි ගත්තේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික සහ වෙරළාරක්ෂක යාත්‍රා එක්ව දැඩි පරිශ්‍රමයක් දැරුවද, ගින්න දින කිහිපයක් අඛණ්ඩව පැවති අතර, අවසානයේදී නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී මුහුදුබත් විය.මේ සිදුවීමෙන් විශාල පරිසර හානියක් සිදුවුණි.

නයිට්‍රික් අම්ලය සහ අනෙකුත් විෂ සහිත ද්‍රව්‍ය ඇතුළු අන්තරායකර රසායන ද්‍රව්‍ය මෙන්ම ඉවත්වූ භාණ්ඩ වලින් කාන්දු වූ තෙල් සහ ප්ලාස්ටික් පෙලට්, පෙති ටොන් කිහිපයක් ද සාගරයට මුදා හැරුණි.එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ පරිසර දූෂණය නිසා මසුන් ඇල්ලීම වැළැකුණු අතර, මාස ගණනාවක් තිස්සේ අපගේ මුහුදු තීරයේ ප්‍රජාවන්හි දහස් ගණනකගේ ජීවනෝපායට අහිතකර ලෙස බලපෑමක් එල්ල කළේය.

මීට අමතරව, මෙය දිගු කාලීනව සාගර ජීවීන්ට සැලකිය යුතු අනතුරක් එල්ල කළ හැකිය.X-Press පර්ල් ව්‍යසනය හුදකලා සිදුවීමක් නොවේ.මෙය සිදුවීමට වසරකටත් අඩු කාලයකට පෙර, තවත් සැලකිය යුතු සමුද්‍ර ව්‍යසනයක් වළක්වා ගත හැකි වූයේ මහත් පරිශ්‍රමයකිනි.

අපේ මුහුදු සීමාව ආසන්නයේ බොරතෙල් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ MT New Diamond නෞකාවේ ඇති වූ ගින්න, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඉන්දියාවේ සහ කලාපයේ ඒ අවස්ථාවේ පිහිටි රුසියානු නාවික යාත්‍රා දෙකක සහාය ඇතිව සාමූහික පරිශ්‍රමයකින් සාර්ථකව මැඩපවත්වීය.මෙම සිදුවීම් දෙකම පෙන්වා දෙන්නේ අන්තරායකර සහ පාරිසරික සංවේදී ද්‍රව්‍ය සාගර ප්‍රවාහනය සම්බන්ධයෙන් තිබිය යුතු දැඩි පාලනයක හදිසි අවශ්‍යතාවයයි.

ඉන්දියානු සාගර කලාපයේ මුහුද පතල සුරන බොටම් ට්‍රෝලින් සහ ලෝන්ග් ලයින් මසුන් ඇල්ලීමේ ක්‍රමය සහ පිපිරුම් ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු සීමාවකින් තොර ලෙස මසුන් ඇල්ලීම සහ පරිසර විද්‍යාත්මකව හානි කරන ක්‍රම සම්බන්ධයෙන් ද එවැනිම පාලනයන් පැනවිය යුතුය.

මෙම ක්‍රම මගින් මත්ස්‍ය සම්පත දැඩි ලෙස ක්ෂය වන අතර, මසුන් ඇල්ලීම සමග සාගර ජීවින් විනාශය ද සිදු වේ. සාගර පරිසර පද්ධති තිරසාරව පවත්වා ගැනීමට තීරණාත්මක සාධකයක් වන අනෙකුත් ජීවීන්ද මෙම ක්‍රම මඟින් විනාශ වේ.

නව ආම්පන්න සහිත ට්‍රෝලර් යාත්‍රා මගින් පිටස්තර මුහුදු සිමාවන්වල මසුන් ඇල්ලීම කලාපයේ පවතින තවත් සැලකිය යුතු ගැටලුවක් වන අතර, එමඟින් දේශීය මසුන් ඇල්ලීම මත යැපෙන දුප්පත් ප්‍රජාවන්ගේ ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල වේ.

අනාගතයේ දී ඉන්දියානු සාගර කලාපයේ සමස්ත පරිසරය සහ දේශීය ආර්ථිකයන්හි ශක්‍යතාව පවත්වා ගැනීම සඳහා එවැනි ගැටළු අවම කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් වනු ඇත.එබැවින්, තිරසාරභාවය සම්බන්ධ එවැනි ගැටළු සම්බන්ධීකරණය කිරීම සඳහා කලාපීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරමි.

ඉන්දියානු සාගර කලාපයේ රටවල් සහ අපගේ ගෝලීය හවුල්කරුවන් අවධානය යොමු කළ යුතු තවත් තීරණාත්මක අංශයක් වන්නේ සමුද්‍ර ආරක්ෂාවයි.

ලෝකයේ භාණ්ඩ හා නිෂ්පාදිත භාණ්ඩ වෙළඳාමෙන් සැලකිය යුතු කොටසක් ඉන්දියානු සාගර කලාපය හරහා සිදු වේ.එබැවින්, එහි මුහුදු මාර්ග සන්නිවේදනයේ අඛණ්ඩතාව පවත්වා ගැනීම ගෝලීය ආර්ථිකයට අතිශයින් වැදගත් වේ.කෙසේ වෙතත්, මෙම සන්දර්භය තුළ, ඉන්දියානු සාගර කලාපය මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය ඇතුළු සැලකිය යුතු සාපරාධී ක්‍රියාකාරකම්වල ස්ථානය ද වන බව පිළිගත යුතුය.

මේ සියල්ල විසඳිය යුතු ප්‍රධාන ගැටළු වේ.මෙම කලාපයේ රටවලට මත්ද්‍රව්‍ය ජාවාරම සැලකිය යුතු ගැටලුවක්ව පවතී.ශ්‍රී ලංකාව, සිය මුහුදු සිමාවේ ක්‍රියාත්මක වන අපරාධ ජාලයන් විසින් නැව් මගින් ප්‍රවාහනය කරන හෙරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු උත්සාහයක් දරා ඇත.

මේවා සැබවින්ම ජාත්‍යන්තර ජාලයන් වන අතර, ඒවායේ විවිධ පැති විවිධ රටවවලට අයත් අපරාධකරුවන් විසින් අධීක්ෂණය කරනු ලැබේ.බොහෝ විට, මත්ද්‍රව්‍ය ජාලයක නායකයින් එක් රටක සිටින අතර, ඔවුන් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය වෙනත් රටක නිෂ්පාදනය කර විවිධ රටවල්වල පුද්ගලයන් විසින් කලාපය වටා ඇති වෙනත් රටවලට ප්‍රවාහනය කරයි.

මෙම ජාලවල ඇති සංකීර්ණ, අන්තර්ජාතික ස්වභාවය හේතුවෙන්, ඒවා ඵලදායී ලෙස මැඩපැවැත්විය හැක්කේ බුද්ධි අංශ, වෙරළාරක්ෂක සහ කලාපීය රටවල නාවික හමුදා අතර මනා සම්බන්ධීකරණ උත්සාහයන් හරහා පමණි.

එබැවින්, මෙම තර්ජනය මැඩපැවැත්වීම සඳහා කලාපය තුළ බුද්ධි හුවමාරුව සහ සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ.මෙම කලාපයේ අපරාධ ක්‍රියාකරුවන්ට ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇති මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ද මේ හා සමාන සම්බන්ධීකරණයක් සහ සහයෝගීතාවයක් අවශ්‍ය වනු ඇත.

ඕෂනියා (Oceania) කලාපය වෙත නීතිවිරෝධී සංක්‍රමණ සඳහා ආරම්භක ස්ථානයක් මෙන්ම සංක්‍රමණික ස්ථානයක් ලෙස ද ශ්‍රී ලංකාව පසුගිය වසරවල භාවිතා කර ඇත.කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු රජයන් අතර සමීප සහයෝගීතාවයෙන් මෙම ක්‍රියාකාරකම මේ වන විට බොහෝ දුරට මැඩ පවත්වා ඇත.

රටවල් අතර මනා සහ දියුණු වූ සම්බන්ධීකරණයක් තුළින් ලබාගත හැකි දේ පිළිබඳ මෙය ඉතා හොඳ උදාහරණයකි.අප ඉදිරියට යන විට, කලාපයේ රටවල ආගමික අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජනයට එරෙහිව සටන් කිරීමට ද එවැනි සම්බන්ධීකරණයක් අවශ්‍ය වේ.

2019 වසරේ විනාශකාරී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්විඳි අත්දැකීම් පෙන්නුම් කරන පරිදි, මෙම ගැටලුව ද කිසියම් නිශ්චිත ප්‍රදේශයකට සීමා කළ හැකි එකක් නොවේ.

ප්‍රවේශමෙන් නිරීක්ෂණය කර මර්දනය නොකළහොත්, අන්තවාදී සහ ත්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකිය.මෙය පාලනය කළ හැකි එකම මාර්ගය බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ අනෙකුත් ආකාරයේ අන්තර්-රාජ්‍ය ක්‍රියාමාර්ග සිදු කිරීමය.

මේ වෙනුවෙන් මම දැඩිව පෙනී සිටිමි.

වැඩි දියුණු කල ජාත්‍යන්තර සහයෝගීතාවයකින්, අපේ කලාපයේ රටවල් වලට පරිසරය, ආර්ථිකය සහ වසංගත සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේ ඇති සියලුම අභියෝගවලට ඉතා හොඳින් මුහුණ දීමට හැකිවන බවට මට විශ්වාසයි.

සමුළුවේ ඉදිරි සැසිවලදී, සහභාගිවන්නන් මෙම ගැටළු සම්බන්ධයෙන් ඵලදායී සංවාදයක් පවත්වනු ඇතැයි මම විශ්වාස කරමි.

අපගේ පොදු ගැටළු විසඳීම සඳහා කලාපයේ ජාතීන් වශයෙන් අපට සාමූහිකව කළ හැකි දේ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මෙය අර්ථවත් ලෙස ඉටු කිරීම සඳහා යෝජිත ඕනෑම කලාපීය යාන්ත්‍රණයක් සඳහා ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවට මම ඔබට සහතික වෙමි.මෙම ගැටළු කොපමණ අභියෝගාත්මක වුවත්, සැබෑ සහයෝගීතාවයෙන් සහ සුහදතාවයෙන් අපි එකට එම ගැටළුවලට මුහුණ දෙන්නේ නම් අපට ඒවා සාර්ථකව ජය ​​ගත හැකි බවට මට උපරිම විශ්වාසයක් ඇත.

ඔබට ස්තූතියි!

About The Author