Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආදායම් සහ වත්කම් හෙළිනොකොට බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයින්ගේ රැකවරණයට රජයම ඉදිරිපත්වෙයි – රටට රුපියල් කෝටි ගණනක් අහිමි වෙයි!

ආදායම් සහ වත්කම් හෙළිදරව් නොකරමින් බදු ගෙවීම පැහැර හරිමින් කටයුතු කරමින් සිටින ව්‍යවසායකයින් ආයෝජන සඳහා දිරිගැන්වීමට බව පවසමින් නව බදු වැඩපිළිවෙළක් දියත් කිරීමට රජය සූදානම් වනවා.

ඒ අනුව සිය වත්කම් බැරකම් සහ ආදායම් හෙළිනොකොට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව විමර්ශන කිරීම හෝ නඩු පැවරීම සිදු නොකිරීමට මෙන්ම එලෙස උපයාගත් හෙළි නොකළ ආදායම් සම්බන්ධයෙන් බදු මුදල් හෝ දඩ මුදල් හෝ පොලී මුදල් හෝ අය නොකිරීමටත් රජය තීරණය කර තිබෙනවා.

ඒ ස්වෙච්ඡාවෙන් එම පුද්ගලයන්ට අදාළ තොරතුරු හෙළිදරව් කිරීමෙන් පසු 1% ක “හෙළිදරව් කිරීම මත බද්දක්” පැනවීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින්.

එමෙන්ම ඒ සඳහා නීත්‍යානුකූලව ඉඩකඩ ලබාදීම සඳහා ද කටයුතු සූදානම් කර තිබෙනවා.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් රටේ පවතින නීතිය අනුව වත්කම් බැරකම් හෙළිකිරීම මෙන්ම එයට අදාළ ලෙස අදායම් බදු ගෙවීම නීතියෙන් නියම කර ඇති තත්වයක් වන අතර යමෙකු එය පැහැර හරින්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද පවතිනවා.

ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ අදායම් බදු පැහැර හැර සිටින මහාපරිමාණ බදු වංචාකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනක බදු මුදලක් අහිමි විය හැකි බවයි.

එමෙන්ම මෙය මහා පරිමාණ වංචාවක් ලෙස ඉතිහාස ගතවනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

අදාළ කැබිනට් තීරණය පහලින්

හෙලිදරව් නොකරන ලද ආදායම් සහ වත්කම් හෙලිදරව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා එවැනි ආයෝජකයින් බද්දක්, දඩ මුදලක් හෝ පොලියක් ගෙවීමේ වගකීමෙන් සහ විමර්ශනයකට හෝ නඩු පැවරීමකට යටත් වීමෙන් නිදහස් කොට 1%ක “ස්වේච්ඡාවෙන් හෙලිදරව් කිරීම මත බද්දක්” පමණක් ගෙවීම සඳහා නීතිමය විධිවිධාන පැනවීමට අදාළව 2021 අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස 2021 මුදල් පනත කෙටුම්පත් කිරීම සඳහා 2021 පෙබරවාරි මස 22 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ති‍බේ. ඒ අනුව, සකස් කර ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author