Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව ලබා දුන් ණය සහ ලීසිං සහන ලබාගත් බොහෝ දෙනෙකුට ඇත්තටම වෙන දේ මෙන්න – අනිවාර්යෙන්ම කියවන්න

කොරෝනා හේතුවෙන් මේ වන විට හටගෙන ඇති දැඩි මූල්‍ය අර්බුදය හමුවේ බොහෝ පිරිසක් තමන් ලබාගත් ණය හෝ ලීසිං වාරික ගෙවා ගැනීමේ බරපතල අර්බුදයකට මුහුණ දී සිටිනවා.

රජය පැවසුවේ ජනතාව මුහුණ දී ඇති මෙම තත්වය අවබෝධ කරගනිමින් මහබැංකුව හරහා අදාළ සියලු බැංකු හා මුල්‍ය ආයතන දැනුවත් කර ජනතාවට ණය සහන කාලසීමාවක් හඳුන්වා දෙන බවයි.

ඒ වෙනුවෙන් මහ බැංකුව විසින් විශේෂ චක්‍රලේඛ කිහිපයක් ද නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිවැරදි තොරතුරු ජනතාවට සන්නිවේදනය කරනු වෙනුවට බොහෝ දෙනෙකු සිදු කර ඇත්තේ කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය විසින් මහ බැංකුව හරහා ලීසිං සහ ණය වාරික ගෙවීමට සහන කාලයක් ලබා දෙන බව අඟවමින් තොරතුරු වාර්තා කිරීම පමණයි.

මේ හේතුවෙන් විශාල පිරිසක් පුද්ගලික සහ රාජ්‍ය බැංකු හරහා මෙලෙස ණය සහන ලබා ගැනීම සඳහා අයදුම් කර තිබෙනවා.

ඒ තවදුරටත් රජයේ මැති ඇමැතිවරු සහ මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරයනට අනුගත වෙමින්.

කෙසේ නමුත් ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයේ සහනයක් ඔවුන්ට හිමිවනවාද? නැත්ද? නැතිනම් සැබවින්ම සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව සොයා බැලීමක් සිදු කිරීම ද අප කටයුතු කළා.

සත්‍යය ලෙසම ඔබට හිමිවන ණය සහනය කෙබඳුද?

මහ බැංකුව නිකුත් කළ උපදෙස් වලට අනුව මැයි මස සිට අගෝස්තු මස 31 දා දක්වා මාස තුනක කාලයක් මේ සහන සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින අතර ඒ සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබු අවසන් දිනය ජුනි මස 21 වනදා ලෙස සඳහන් වුණා.

නමුත් ඇතැම් ආයතන විසින් මේ වන විටත් අදාළ සහන ජනතාවට ලබා දෙන බව වාර්තා වනවා.

ඔබ අයදුම් කරන ණය සහනය සත්‍ය ලෙසම ඔබට හිමිවන්නේ කෙසේද?

ඔබ විසින් අදාල ණය සහනය අයදුම් කළ විට ඔබට ණය ගෙවීමට ඇති කාලසීමාව තුළ සහනයක් හිමි වන බව පැවසෙනවා.

ඒ අනුව මාස තුනක කාලයක් ඔබට ඔබගේ ණය වාරිකය හෝ ලීසිං වාරිකය නොගෙවා සිටිය හැකියි.

වැදගත්ම කරුණ වන්නේ ඉන් පසුව ඔබට ලබාදුන් සහනයට අදාළව අයකිරීම් සිදුවන ආකාරයයි.

මොහොතකට හෝ ඔබ ඒ ගැන සිතුවාද? ඔබ ගණුදෙනු කරන බැංකුවෙන් හෝ මූල්‍ය ආයතනයෙන් මේ පිළිබඳව විමසූවාද?

බොහෝවිට ඔබ ණය හෝ ලීසිං වාරිකය පිළිබඳ සහනය ලබා ගන්නවා මිස මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නට ඇති.

එසේ නම් අප ඒ පිළිබඳව ඔබට කරන සිහිකැඳවීමයි මේ…

බොහෝ මූල්‍ය ආයතන සහ බැංකු විසින් ඔබට ණය සහනයක් ලබා දීමට ඉදිරිපත් වන්නේ ඉතාම කැමැත්තෙන්.

උදාහරණයක් ලෙස ඔබේ වාහනය සඳහා ඔබට රුපියල් පනස් දහසක මාසික ලීසිං වාරික ගෙවීමට ඇතැයි අප සිතමු.

ඔබට ඔබේ සම්පූර්ණ ලීසිං මුදල ගෙවා අවසන් කිරීමට ඇත්තේ තවත් වාරික දහයකින් යැයි ද සිතමු.

ඒ අනුව සාමාන්‍යය ක්‍රමයට අනුව ඔබ ගෙවීම් කළහොත් මාස 10කින් ඔබේ වාරික සියල්ල ගෙවා අවසන් කළ හැකියි.

අවදානම හේතුවෙන් මාස තුනක් සඳහා ඔබ සහනයක් ලබා ගත් බව දැන් සිතන්න.

ඒ අනුව අදාළ මූල්‍ය සමාගමට ඔබ විසින් ගෙවිය යුතු රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල අදාල මාස තුන සඳහා ඔබෙන් අයකර නොගැනීමට අදාල ආයතනය කටයුතු කරනු ලබනවා.

දැන් එන්නේ කතාවේ වැදගත්ම කොටසටයි.

ඔබට දුන් ණය සහනයට අදාළව ඔබෙන් එය අය කර ගන්නේ කෙසේද?

මේ වන විට සිදු කෙරෙන්නේ ඔබ ලබාගත් රුපියල් 150000 ක ණය සහනයට අදාළව 11% සීමාව ද ඉක්මවා ගිය අලුත් ණයක් ඔබ ලබාගත් සේ සලකමින් අදාළ මුදල ඔබෙන් අයකරගැනීමට ඔවුන් කටයුතු කිරීමයි.

ඒ ඔබ ලබාගත් ණය මුදලට හෝ ලීසිං මුදලට අදාළව ඔබ ගෙවන පොලියට අමතරව තවත් පොලියක් එකතු කරමින්.

මාස තුනක සහන කාලය අවසානයේ ඔබ ඉදිරියට තවත් මාස දහයක් ඔබේ ණය වාරික ගෙවීම සිදුකරන අතර ඉන් අනතුරුව හෝ ඊට පෙර ණය සහනය ලෙස ලබාගත් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල පොලිය ද සහිතව අයකර ගැනීමට අදාල දැනුම්දීම අදාල මූල්‍ය ආයතනය විසින් ඔබට සිදු කරනු ඇති.

එමෙන්ම මේ අවස්ථාවේදී එනම් සහන ලබා දී ඇති මාස තුනක කාලය තුළ බොහෝ විට ඒ පිළිබඳ කිසිදු හා හූවක් ඔබට අසන්නට නොලැබෙනු ඇති.

ඇතැම්විට අදාල ණය මුදල අදාළ ණය ප්‍රමාණයෙහි වැඩිවීමක් ලෙස දක්වමින් ඔබෙන් අයකිරීම ද ඔවුන් කටයුතු කරනු ඇති.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ පුද්ගලික මූල්‍ය ආයතනයක කළමනාකරුවකු සඳහන් කළේ ලීසිං ප්‍රමාදයට අදාල දඩ ගාස්තු ගෙවීම මෙම සහනය ලබා ගැනීමට වඩා ගණුදෙනු කරුවන්ගේ පැත්තෙන් වඩා සැනසිලිදායක වනු ඇති බවයි.

එබැවින් ණය සහන අපේක්ෂා කරනවා නම් සත්‍ය ලෙසම ඔබට ණය සහනය හිමිවන ආකාරය පිළිබඳ නිවරදිව තොරතුරු විමසා දැන ගැනීම ඔබ අනිවාර්යයෙන්ම සිදුකළ යුත්තක්.

නැතිනම් සිදුවන්නේ විවිධ කතාවලට රැවටෙමින් ඔබ විහින් අමාරුවේ වැටීම සහ ණය සහන ලබා ගැනීමට ගොස් තවත් ණය උගුලක සිර වීම පමණයි.

කතෘ සටහන – බැංකු ගණුදෙනු වල ස්වභාවය නිවැරදිව අවබෝධ කරගැනීම සහ මුල්‍ය සාක්ෂරතාවය අතින් ජනතාව සිටින්නේ එතරම් ම දියුණු මට්ටමක නොවේ. අදාළ ආයතන බොහොමයක් විසින් සිදුකරන මේ ක්‍රියාවේ වරදක් ඇතැයි කීම අපහසුය.නමුත් සිදුවන්නේ නොදැනුවත් කම හේතුවෙන් සහ සත්‍ය තොරතුරු වසන් කිරීමට අදාළ වගකිව යුත්තන් කටයුතු කිරීමෙන් අසරණ ජනතාව තව දුරටත් අන්ත අසරණ වීම පමණි.

About The Author