Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව ගවයන් වෙනුවෙන් දුන් පොරොන්දුව අලුත්වෙයි

ගව ඝාතක ආඥා පනත ඇතුළු පනත් පහක් සංශෝධනය කිරීමට සූදානම්

ගව ඝාතනය තහනම් කිරීමට අදාළව කෙටුම්පත් කොට ඇති පනත් හා ආඥාපනත් රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය වසරේ සැප්තැම්බර මාසයේ මෙම පොරොන්දුව ලබා දුන්නේ ශ්‍රී ලංකාව තුල ගව ඝාතනය තහනම් කරන බව පවසමින්.

ඒ අනුව ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේදී ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන සම්මත කරන ලද අනුනීති සංශෝධනය කිරීමට ඉකුත් වසරේ සැප්තැම්බර් 28 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාදුන් අනුමැතිය අනුව ක්‍රියාත්මක වීම ද තීරණය කර තිබෙනවා.

ඊට අදාළ කැබිනට් තීරණය පහලින්..

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීම-

දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය කිරීම තහනම් කිරීමටත්, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමටත්, 2020 සැප්තැම්බර් 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පහත සඳහන් පනත්/ආඥාපනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සකස් කර ඇත.

* 272 අධිකාරය වන 1893 අංක 9 දරන ගෝ ඝාතක ආඥාපනත

* 1958 අංක 29 දරන සත්ත්ව පනත

* 252 අධිකාරය වන මහනගර සභා ආඥාපනත

* 255 අධිකාරය වන නගර සභා ආඥාපනත

* 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

එකී පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිතුමා‍ විසින් සහතික කර තිබේ. ඒ අනුව, එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍යතුමා; රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා; සහ කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.

About The Author