Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව අවලස්සන නව නිපැයුමක් එළිදක්වයි

ලෝකයේ තරුණම විද්‍යාඥයා ලෙස සම්මාන දිනු ලංකාවේ තරුණම මහාචාර්ය වරයා වූ රංගික හල්වතුර තනතුරින් දොට්ට දමා දේශපාලන හිතවතෙකු නව නිපැයුම් මහ පුටුවට පත්කරයි

නව නිපයුම් කරුවන්ගේ කොමිෂන් සභාවේ කොමසාරිස් ධුරය හෙබ වූ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා එම ධුරයෙන් ඉවත් කොට නීති විරෝධී අයුරින් සුදුසුකම් නොමැති වෙනත් පුද්ගලයෙකු එම තනතුරට පත්කිරීම සඳහා කටයුතු කර ඇති බව වාර්තාවනවා.

නීති විරෝධී පත් කිරීම් සහ අයථා මුදල් වියදම් කිරීමට එරෙහි වීම ගැටුමට මුල බවට චෝදනාවක්

රංගික හල්වතුර මහතා මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉංජිනේරු විෂය සම්බන්ධ බිහිවූ ලාබාලතම මහාචාර්යවරයා වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා.

2017 වසරේදී ලෝක විද්‍යාඥයින්ගේ ඇකඩමිය මගින් පවත්වන ලද තරුණ විද්‍යාඥයා තේරීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්පත් කර දෙමින් එහි ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ ද මහාචාර්ය රංගික හල්වතුර මහතායි.

ඉන් අනතුරුව 2019 වසරේදී මහාචාර්ය රංගික හල්වතුර මහතා ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමේ සභාපති ධුරයට පත් කරන ලද අතර සුජීව සේනසිංහ මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යධුරය හොබවන සමයේ මෙරට අතිශයින්ම ජනප්‍රිය වූ ශිල්ප සේනා නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනය සංවිධානය කිරීමට පුරෝගාමී වන්නේද ඔහුයි.

2020 වසරේ මාර්තු මාසයේදී ඔහු නැවත වතාවක් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සභාවේ කොමසාරිස් ධූරයට පත් කෙරෙනේ නව රජය යටතේයි.

අදාල ආයතනය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ විෂය පථයට එක් කොට තිබෙනවා.

2020 වසරේ සිට මේ දක්වා කාලය තුලද මහාචාර්ය රංගික හල්වතුර මහතා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හරහා වාර්තා ගත රාජකාරි කොටසක් ඉටුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මහාචාර්ය රංගික හල්වතුර මහතාට පාලනාධිකාරිය හරහා රාජකාරි කටයුතු සඳහා අයථා බලපෑම එල්ල වී ඇති බව පැවසෙන අතර නුසුදුස්සන් සඳහා මුදල් වෙන් කිරීමට මෙන්ම, නුසුදුස්සන් තනතුරු සඳහා පත් කිරීමට ද විවිධ බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ තත්ත්වය තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර අවසානයේ සිදුකර තිබෙන්නේ නීති විරෝධී ලෙස මහාචාර්යවරයා අදාල ධුරයෙන් ඉවත් කොට වෙනත් පුද්ගලයෙකු ඒ සඳහා පත් කිරීමට පියවර ගැනීම බවයි පැවසෙන්නේ.

නව නිපැයුම් 14 ක් සඳහා පේටන් බලපත්‍ර හිමිකරුවෙකු වන මහාචාර්ය රංගික හල්වතුර මහතා අදාල ධුරයෙන් ඉවත් කොට අදාළ තනතුර සඳහා දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයෙකු පත්කර ඇති බවට අදාළ ආයතනයේ සේවකයින් ම චෝදනා කරනවා.

About The Author