Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අසර්බයිජානයේ බිහි වීම.

මේ දිනවල ජාත්‍යන්තර දේශපාලනයේ වඩාත් කතාබහට ලක් වන රටක් බවට පත් වී ඇත්තේ අසර්බයිජානය යි. ඒ ඔවුන් මැදිහත් වී ඇති යුධමය ක්‍රියාවලිය හේතුවෙනි. මෙම රට බිහි වූයේ කෙසේද යන කරුණ බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් ඇති කර තිබෙන බව පෙනේ.

“අසර්බයිජානය” යන නම පැමිණියේ ගින්න සඳහා පර්සියානු වචනය වන “අසර්” සහ ආරක්ෂකයා යන තේරුම දෙන “බේගන්” යන වචන දෙකෙහි එක් වීමෙනි. එරට වත්මන් අගනුවර වන “බකු” අවට ප්‍රදේශයට මෙම නම ප්‍රථමයෙන් ම භාවිත කරන ලදී. අනෙකුත් තරඟකාරී අධිරාජ්‍යයන් හා සංස්කෘතීන් සිය ආධිපත්‍යය සහ බලය උදෙසා තරඟ වදින විට සියවස් ගණනාවක් පුරා මෙම රාජධානියේ ඉහළ යාමත් බිඳ වැටීමත් සිදු විය. වර්තමාන රට, එහි ජනතාව, භාෂාව, ආගම සහ සංස්කෘතිය යනු එහි ඉතිහාසය පිළිබිඹු කරන දිගු පරිණාමයක ප්‍රතිඵලයකි. 

ඉරානය, අර්මේනියාව, ජෝර්ජියාව හා රුසියාව යනාදී රවලටත් කැස්පියන් මුහුදටත් මැදි ව පිහිටා ඇති මෙම රාජ්‍යයේ ගොවිබිම් බොහොමයක් තිබුණ ද අනෙකුත් කොකේසියන් ජාතීන් හා සසඳන විට ජල සම්පත්වල හිඟයක් පවතියි. තව දුරටත්, දුර්වල ලෙස සැලසුම් කරන ලද සෝවියට් වාරිමාර්ග ව්‍යාපෘති හේතුවෙන් පාංශු ඛාදනය හා ඉහළ පාංශු ලවණතාවයක් ඇති වී තිබේ. අසර්බයිජානයේ අගනුවර වන බකු පිහිටා තිබෙන්නේ එහි නැගෙනහිර දෙසින් වන අතර, අබ්ෂෙරොන් අර්ධද්වීපයේ ස්වාභාවික තුඩුවක හැඩය හේතුවෙන් මෙය කැස්පියන් මුහුදේ පිහිටා තිබෙන හොඳම ස්වාභාවික වරායන්ගෙන් එකක් බවට පත් කෙරෙයි. අසර්බයිජානය දිගු කලක් තිස්සේ මෙයින් උපායශීලී ලෙස යුධමය මෙන් ම ආර්ථික වාසි ද ලබා ගෙන ඇත. මිලියන 2.3කට අධික පදිංචිකරුවන් ප්‍රමාණයක් එනම්, රටේ ජනගහණයෙන් හතරෙන් එකක් ජීවත් වන්නේ අගනගරයේ ය. තෙල් හා ස්වාභාවික වායු නිපදවීම සම්බන්ධයෙන් ද ඔවුහු කැපී පෙනෙති.

දේශසීමා කඳු වශයෙන් පිහිටා තිබුණත් අසර්බයිජානය විවිධ ආරක්ෂක ගැටලුවලට මුහුණ දෙමින් සිටියි. එහි භූමි ප්‍රමාණයෙන් 13%ක් පමණ අත්පත් කරගෙන ඇත්තේ නාගර්නෝ-කරබාක් ජාතිකයින් විසිනි. ඔවුහු අසල්වැසි ආර්මේනියාව සමඟ සන්ධානගත ව සිටිති. එහෙත් දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාම සාකච්ඡා පවත්වමින් තිබිය දීත්, ආර්මේනියාව සහ අසර්බයිජානය මෑත වසරවල දී අවි ආයුධ තරඟයක නිරත වෙමින් සිටිති.

අසර්බයිජානයෙන් 6%ක භූමි ප්‍රදේශයක් පිහිටා ඇත්තේ නක්චිවන්හි ය. කෘෂිකර්මාන්තයෙන් හා ඛණිජවලින් පොහොසත් වුව ද නක්චිවන් කඳුකරය පිහිටා තිබෙන්නේ අර්මේනියානු භූමි ප්‍රදේශයේ ය. වර්තමාන ගැටුම් හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයට ප්‍රවේශ විය නොහැකි බැවින්, ගොඩබිම සහ ප්‍රධාන භූමිය අතර ප්‍රවාහනය දුෂ්කර ව තිබෙන අතර පතල් කිහිපයක් ද වසා දැමීමට සිදු ව ඇත. ඇතැම් අර්මේනියානු ජාතිකවාදීන් කියා සිටින්නේ නක්චිවන් යනු ඓතිහාසික අර්මේනියාවේ කොටසක් වන අතර එය නැවත තමන් සතු විය යුතු බවයි. කෙසේවෙතත්, අද වන විට, එම ප්‍රදේශයේ ජීවත් වන ජනගහණයෙන් 99%කට වඩා වැඩි සංඛ්‍යාවක් අසර්බයිජානියානු ජාතිකයෝ වෙති.

ප්‍රාග් අසර්බයිජානය.

අසර්බයිජානියානු ජනතාව පැවත එන්නේ කොකේසියානු ඇල්බේනියානුවන්ගෙනි. ඇල්බේනියාව, අර්මේනියාව සහ ජෝර්ජියාව ද කලක් කොකේසස්හි පිහිටි තුන්වන මට්ටමේ ශ්‍රේෂ්ඨතම ක්‍රිස්තියානි රාජධානි විය. කෙසේ වෙතත්, රෝමානුවන්, පර්සියානුවන්, අරාබිවරුන් සහ තුර්කි ජාතිකයන් අතර ඇති වූ මහා ගැටුම්වල දී, අර්මේනියානුවන් හා ජෝර්ජියානුවන් මෙන් නොව ඇල්බේනියානුවන් වෙනත් සංස්කෘතීන්ට යටත් විය.

මෙය ශතවර්ෂ ගණනාවක් ගත වූ දිගු ක්‍රියාවලියකි. ඇල්බේනියානුවන්ගේ සමහර භේදකාරී කණ්ඩායම් අර්මේනියානු හා ජෝර්ජියානු සංස්කෘතීන් සමඟ ඒකාබද්ධ වූ අතර ඇල්බේනියාව අරාබිවරුන් යටතේ ඉස්ලාමය පිළිගත්තේය. 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී නූතන අසර්බයිජානය පාලනය කරන ලද්දේ පර්සියානු රාජවංශයක් වන “සෆාවිඩ්ස්” විසිනි. ඔවුහු ෂියා ආගමිකයෝ වූහ. සෆාවිඩ්වරු ෂියා ඉස්ලාමය ඔවුන්ගේ රාජ්‍ය ආගම බවට පත් කළ අතර සුන්නි අසර්බයිජානුවන් සහ ඉරාන වැසියන් ඉවත් කෙරිණි. එරට තවමත් අසර්බයිජානයේ අසල්වැසියන් අතර ප්‍රමුඛතම ඉස්ලාම් ශාඛාවයි.

සෆාවිඩ්ස් රාජධානිය අවසානයේ දී බාහිර හා අභ්‍යන්තර පීඩන යටතේ බිඳ වැටුණි. ඔටෝමාන්වරුන් සහ උස්බෙක්වරු දිගු කලක් බටහිර හා නැගෙනහිරට විදේශීය තර්ජනයක් ව සිටි අතර, පසුව රුසියානුවන් සමඟ එකතු වී උතුරු කොකේසස්හි පර්සියානු දේපළවලට බලපෑම් කිරීමට පටන් ගත්හ. ඊට අමතරව, ලන්දේසීහු ද නැගෙනහිර ඉන්දියා සමාගම හරහා අප්‍රිකාවට සහ මැදපෙරදිගට යන සම්ප්‍රදායික හා ලාභදායී වෙළඳ මාර්ගවලින් පර්සියාවට බලපෑම් කළහ. ජනවාර්ගික හා ආගමික ගැටලු හේතුවෙන් ජෝර්ජියානුවන් පිටුවහල් කෙරිණි. තවත් කොටසක් අවතැන් වූ අතර සුන්නි ඇෆ්ගනිස්ථානන් බලහත්කාරයෙන් ෂියා ආගමට හරවා ගැනීමට සෆාවිඩ් දැරූ උත්සාහය, අවසානයේ කැරැල්ලකට තුඩු දුන් හෙයින් එය 1736 දී රාජවංශයේ විනාශයට හේතු විය.

1789 දී පර්සියාවේ බලයට පත් වූයේ කජාර්වරුන් ය. ඔවුහු අසර්බයිජානියානු ජාතිකයින් වූ අතර සෆාවිඩ්වරුන් යටතේ විශාල කාර්යභාරයක් ඉටු කළහ. ඔවුන් තම නව රජය තුළ අසර්බයිජානියානු භාෂාවේ සහ සංස්කෘතියේ වැදගත්කම මතු කළ අතර රට ශක්තිමත් කිරීමට සූදානමින් සිටියහ. කෙසේ වෙතත්, කජාර්වරුන් බලයට පත්වීමෙන් ටික කලකට පසු 1813-1828 දී පමණ රුසියානුවන් විසින් කජාර්වරුන්ගෙන් රට උදුරාගෙන රුසියාවට ඈඳා ගන්නා ලදී. 1925 දී කජාර්වරුන් හට සිය පරණ සතුරන්ගේත් දේශපාලන බෙදීම්වලත් බලපෑමට යටත් වීමට සිදු විය. එසේ වූයේ එම රජය වඩාත් නවීන ජාත්‍යන්තර ලෝකයක් තුළ ක්‍රියාත්මක වීම සඳහා සිය ආයතන ප්‍රතිසංස්කරණය කර නැවත ගොඩනැඟීමට උත්සාහ කිරීමත් සමඟ ඇති වූ දේශපාලන බෙදීම් හේතුවෙනි.

සාර් යටතේ අසර්බයිජානය.

දේශීය ඛාන්වරුන් වඩාත් රුසියානු සංස්කෘතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගත් විට, එවකට මධ්‍යම උතුරු කොකේසියාවට අයිති වූ “කාර්ට්ලි-කකෙටි” සහ “ඉමරෙටි” යන ජෝර්ජියානු රාජධානි, පර්සියාවෙන් නිදහස් වී 1783 දී රුසියාව යටතට පත් වූහ. කෙසේ වෙතත්, කජාර්වරු සිය අධිරාජ්‍යය නැවත ගොඩ නගා ගැනීමට උත්සාහ කළ අතර 1795 දී කළ සටනක දී ජෝර්ජියානුවන් යළිත් යටත් කර ගැනීමට සමත් වූහ.

කෙසේ වෙතත්, රුසියාවට අවශ්‍ය වූයේ කලාපය ම සිය බලපෑම යටතේ පවත්වා ගැනීමට ය. ඒ අනුව ඔටෝමාන්වරුන්ට සහ පර්සියානුවන්ට පහර දී යටත් කර ගැනීම සඳහා නොයෙකුත් උපායමාර්ග දියත් කෙරිණි. 1800 ගණන්වල මුල් භාගයේ දී රුසියාව සහ පර්සියාව අතර ගැටුම් මාලාවක් ආරම්භ විය. රුසියාව බොහෝ දුරට වඩා හොඳ ආයුධ හා උපක්‍රම මගින් පර්සියානුවන් සෑම සටනක දී ම පාහේ පරාජයට පත් කළ අතර 1828 වන විට රුසියානුවන් උතුරු හා දකුණු කොකේසියානු ජනපද සියල්ලෙහි ම පාහේ ආධිපත්‍යය දැරීය.

1870 දශකය වන තුරු ම සාර්වරයා විසින් අසාර්බයිජානයේ විසූ දේශීය ඛාන්වරුන් හට සැලකිය යුතු ස්වයං පාලනයක් ලබා දෙන ලදී. දේශීය සංක්‍රමණිකයන් ඛණිජ තෙල් පිරිපහදු  කිරීමේ සේවය සඳහා නගරයට පැමිණීමෙන් එම සංචිත බොහොමයක් ඇති බකු ප්‍රදේශයේ ජනගහණය 10,000 සිට 250,000 දක්වා වේගයෙන් වර්ධනය විය. අසර්බයිජානු රජය රොත්ස්චයිල්ඩ්ස් සහ නොබෙල්ස් වැනි බටහිර අධිරාජ්‍යයන් හට ආරාධනා කළේ  ඔවුන්ගේ නවතම තෙල් තාක්‍ෂණ භූමියක් ලෙස සිය රට භාවිත කරන ලෙස ය. එයින් පසු ලොව පළමු තෙල් නල මාර්ගයේ අවසන් සන්ධිස්ථානය බකු නගරය බවට පත් විය. එරට ළිංවලින් රැගෙන එන ලද ඛණිජ තෙල් තැන්පත් කිරීම සඳහා ලොව පළමු තෙල් ටැංකිය වන “සොරොස්ටර්” ඉදිකෙරිණි.

1865 දී ට්‍රාන්ස් කොකේසස් දුම්රිය මාර්ගය කළු මුහුදේ “පොටි” ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර 1883 දී එය බකු වෙත ළඟා විය. බාහිර මෙන් ම අභ්‍යන්තර තර්ජනවලින් ද ආරක්ෂා වීමට අවශ්‍ය වූ රුසියානු හමුදාවලට මෙමඟින් කඳු හරහා වේගයෙන් ගමන් කළ හැකි විය. දුම්රිය මාර්ගය හේතුවෙන් රුසියාවට සිය කොකේසියානු කලාප ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමට හැකි වූ අතර බකු නගරයේ සිට ගෙන එන ලද තෙල් බටහිරට ප්‍රවාහනය කිරීම සඳහා ද වැදගත් මාර්ගයක් බවට පත්විය.

මෙම වේගවත් සංවර්ධනය ක්‍රිස්තියානි, යුරෝපීය පාලකයින් සහ ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනතාව අතර විශාල විෂමතාවයක් ඇති කළේය. විසිවන සියවසේ මුල් භාගයේ රැඩිකල් දේශපාලන ව්‍යාපාර නව දුගී දුප්පත් නාගරික පන්තිය අතුගා හැරීමට උත්සාහ කළ අතර සිය රට රුසියාවෙන් ඉවත් කර ගැනීම සඳහා සාර්වාදී ආණ්ඩුව විසින් විවිධ කණ්ඩායම් එකිනෙකා සමඟ ගැටීමට සලස්වන ලදී. විශේෂයෙන් මුස්ලිම් අසර්බයිජානුවන් සහ ක්‍රිස්තියානි අර්මේනියානුවන් මෙලෙස ගැටුණු අතර ඔවුන් දෙපාර්ශවය ම කියා සිටියේ අනෙකා ඔවුන්ගේ දීර්ඝ මෙන් ම එකිනෙකට බැඳී ඇති ඉතිහාසය තුළ දී තම ජනතාවට පීඩා කළ බවයි. මේ අනුව 1905 සහ 1917 විප්ලවවල දී අසෙරියානුවන්ට සහ අර්මේනියානුවන් හට රුසියානුවන්, ධනපතියන් මෙන් ම තම සගයින් සමඟ ද සටන් කිරීමට සිදු විය.

රුසියානු සිවිල් යුද්ධයත් සමඟ අර්මේනියාව සහ අසර්බයිජානය පහසුවෙන් ම ස්වාධීන බවට පත් වුව ද කරබාක් සහ නක්චිවන් ඇතුළු මතභේදාත්මක ප්‍රදේශ සම්බන්ධයෙන් එකිනෙකා සමඟ යුද්ධයට ගියහ. දෙරට ම සියවස් ගණනාවක් පුරා විශාල අධිරාජ්‍යයන් යටතේ ජීවත් වූ නිසා ඔවුන්ගේ ප්‍රජාවන් අතර පැහැදිලි දේශසීමා නොතිබුණි. සමහර හිමිකම් අදටත් පදනම් වී ඇත්තේ ජනවාර්ගික වාසස්ථාන එක්සත් කිරීම මත වන අතර සමහර ඒවා තනිකරම ඓතිහාසික මූලාශ්‍ර මත එනම්, අතීත අධිරාජ්‍යයන්ගේ හා රාජධානිවල මායිම් මත පදනම් වී තිබේ. කෙසේ හෝ සටන අවසන් වූයේ 1920 දී සෝවියට්වරු අසර්බයිජානය සහ ආර්මේනියාව ආක්‍රමණය කර සෝවියට් පාලනය යටතට ගැනීමෙනි.

සෝවියට් අසර්බයිජානය.

අසර්බයිජානය මුලින් අර්මේනියාව සහ ජෝර්ජියාව සමඟ ට්‍රාන්ස්කාකේසියානු රුසියානු කලාප වශයෙන් කාණ්ඩගත වූහ. කණ්ඩායම් තුනට එකට වැඩ කළ නොහැකි බව ඉක්මනින් පැහැදිලි වීමෙන් පසු මෙය කොටස් තුනකට කැඩී ගියේය. අසර්බයිජානය විසින් රුසියාවේ තෙල් නිෂ්පාදනයෙන් 60%ක් සැපයිණි. එහෙයින් අසර්බයිජානයට නව ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට සහ කෘෂිකර්මාන්තය සඳහා ද සෝවියට් රජයෙන් විශාල ප්‍රාග්ධන ආයෝජන ලැබුණි. කලක්, අසර්බයිජානය සෝවියට් රුසියාවේ ඉහළ ම තේ නිෂ්පාදකයා වී සිටියේ ය.

දෙවන ලෝක යුද්ධයේ දී කිසි විටෙකත් අසර්බයිජානය සටනට අවතීර්ණ නොවූ නමුත් එහි මූලෝපායික බලශක්ති වැදගත්කම නිසා නාසිවරු එම ජනරජය අත්පත් කර ගැනීමට ප්‍රමුඛත්වය දුන්හ. ජර්මනියේ එම යුද ප්‍රයත්නවල ප්‍රබලතාව කොතෙක් ද කියතොත් සෝවියට් දේශයට අසර්බයිජානය වෙනුවෙන් සටන් කිරීමේ හැකියාව ද අඩු වූ තරම් විය. නාසිවරුන් ස්ටර්ලින්ග්‍රාඩයේ නැවතී සටන් කළේ ද බොහෝ දුරට අසර්බයිජානයේ තිබූ ඛණිජ තෙල් සංචිත ප්‍රවේශම් කර ගැනීමේ අරමුණින් යැයි නිගමනය කළ හැකි ය.

1800 ගණන්වල රුසෝ-පර්සියානු යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට අසර්බයිජානුවන්ගේ ජනගහණයට එකම දේශ සීමාවක් තුළ එක්සත් වීමේ හැකියාව ඇති විය. කෙසේ වෙතත්, යුද්ධය අවසන් වූ විගස, ඉරාන භූමිය අත්හරින ලෙස සෙසු මිත්‍ර පාක්ෂිකයින් ගෙන් එල්ල වූ බලපෑම සෝවියට් සංගමය තුළත් ඉන් පිටතත් අසර්බයිජානියානු ජාතිකවාදය ඉහළ නැංවීය.

1960 දශකය වන විට කලාපයේ ආර්ථිකය මන්දගාමී වීමත් සමඟ අසර්බයිජානුවන් සහ ආර්මේනියානුවන් අතර ජාතිකවාදය සහ ජනවාර්ගික ගැටුම් නැවත වර්ධනය විය. සෝවියට් සංගමය අසර්බයිජානියානු ජාතිකයෙකු වූ “හයිඩර් අලියෙව්” කලාපයේ ප්‍රධානියා ලෙස උසස් කිරීම හේතුවෙන් ඔහු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු ඉතිහාසයේ බලවත්ම අසර්බයිජානියානු ජාතිකයා බවට පත්විය. අලියෙව්ට අසර්බයිජානයේ විකල්ප කර්මාන්ත සඳහා ආධාර කිරීමේ වරමක් ලබා දුන් අතර ඔහු කපු නිෂ්පාදනය ඉදිරියට තල්ලු කරමින් දේශපාලන හා ආර්ථික වශයෙන් සාර්ථක විය.

සෝවියට් ආර්ථිකය හා දේශපාලන ක්‍රමය බිඳ වැටීම අසර්බයිජානයට තවත් ආර්ථික ගැටලු ගෙන ආවේ ය. අලියෙව් මුල දී ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූ හෙයින් ගොර්බචෙව් පරිපාලනය විසින් ඔහු දේශපාලනයෙන් ඉවත් කරන ලදී. ආර්ථික ගැටලු උත්සන්න වන අතර අර්මේනියාව අසර්බයිජානයේ කලාපයක් වන නාගෝර්නෝ-කරබාච් තමන් වෙත ලබා දීමට බල කිරීම නිසා ජනවාර්ගික ගැටුම් ද ඇති විය. එය ශාරීරික ගැටුම්, කැරලි සහ අසර්බයිජානය සහ ආර්මේනියාව නිදහස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු යුද්ධය දක්වා වර්ධනය විය.

 පශ්චාත් සෝවියට් අසර්බයිජානය.

 නගෝර්නෝ-කරබාච් යුද්ධය වසර හයක් පැවතුණි. අසර්බයිජානයේ හමුදාව රෝගාතුර වූහ. වැඩි සොල්දාදුවන් ප්‍රමාණයක් සිටියත්, උපකරණ මෙන් ව පුහුණු නිලධාරීන් ද අඩු විය. 1994 වන විට අසර්බයිජානයට කරබාච්හි පාලනය සහ ඔවුන්ගේ භූමියෙන් අමතර 10%ක් අහිමි විය. “බිෂ්කෙක් ප්‍රොටෝකෝලය” විසින් අසර්බයිජානයට එම ප්‍රදේශය කෙරෙහි ස්වෛරීභාවය ලබා දුන් අතර මතභේදාත්මක ප්‍රදේශවලට පුළුල් ස්වාධීනත්වයක් ලබා දෙන ලදී. කෙසේ වෙතත්, මෙම කෙටුම්පත කිසි විටෙකත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවූ අතර නාගෝර්නෝ-කරබාක් තවමත් ස්වාධීන ජනරජයක් ලෙස පවතියි. මේ අනුව, 1994 දී අවසන් වූ කල් පවත්නා ගැටුමට මිත්‍රශීලී විසඳුමක් සෙවීම සඳහා “ඕ.එස්.එස්.ඊ. මින්ස්ක්” සමූහය නිර්මාණය කළ ද, අදටත් ඒ සඳහා දිගුකාලීන විසඳුමක් සොයාගෙන නොමැත.

යුද්ධයෙන් එරට ජනගහණයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වූ අතර, මානුෂීය හා ආර්ථික ගැටලු ඇති විය. නිදහස ලැබූ මුල් අවදියේ යුද්ධය සහ ජාතිකවාදය ඉහළ යාමත් සමඟ, වරෙක රුසියානුවන් සහ අර්මේනියානුවන් ද ඇතුළුව මිලියන භාගයක් පමණ වූ එහි සුළුතරයන්ගෙන් බොහෝ දෙනෙක් රට හැර ගියහ. අද වන විට අසර්බයිජානය 92%ක් ජනවාර්ගික වශයෙන් අසර්බයිජානුවෝ ය.

අසර්බයිජානයේ පළමු ජනාධිපති, හිටපු සෝවියට් නායක අයස් මුටලිබොව් 1992 දී බලයෙන් ඉවත් කෙරිණි. ඔහු වෙනුවට හිටපු සෝවියට් විරුද්ධවාදියෙකු සහ බටහිර ගැති ආර්ථික ලිබරල්වාදියෙකු වූ අබුල්ෆස් එල්චිබේ පත් කෙරිණි. කෙසේ වෙතත්, නාගෝර්නෝ-කරබාක් ආරක්ෂා කර ගැනීම සඳහා අඛණ්ඩව දරන ලද උත්සාහයන් දූෂිත යැයි කියමින් අසර්බයිජානියානු හමුදාව අවසානයේ එල්චිබේ වෙත හැරී කුමන්ත්‍රණයෙන් ඔහුව පළවා හරිමින්, හිටපු සෝවියට් නායක හයිඩර් අලියෙව් 70 හැවිරිදි වියේ දී නැවත ගෙන ආහ.

පළමුවෙන්ම මහජන ඉල්ලීම් සපුරාලීමෙන් අලියෙව් ඉක්මනින් බලය තහවුරු කර ගත්තේය. ඔහු බිෂ්කෙක් ගිවිසුම් අත්සන් කිරීමෙන් සටන අවසන් කළේය. කැස්පියන්හි ඇති විශාල අක්වෙරළ හයිඩ්‍රොකාබන් සංචිත සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන ජාත්‍යන්තර තෙල් සමාගම් 11ක එකතුවක් සමඟ “සියවසේ කොන්ත්‍රාත්තුවට” ද අත්සන් තැබීය. අසර්බයිජානය රුසියාව, ජෝර්ජියාව සහ තුර්කිය සමඟ සම්බන්ධ කරන නල මාර්ග 90 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේ ඉදිකරන ලදී. එමඟින් සාර්ථක ආර්ථික ප්‍රතිසංස්කරණ හා ප්‍රධාන පුද්ගලීකරණ වැඩසටහනක් සමඟින් ඩොලර් බිලියන ගණනක නව බලශක්ති ආදායමක් ලැබුණි. දේශපාලන ප්‍රතිවාදීන් සිරගත කිරීම සහ බලය තහවුරු වූ වෙනත් ක්‍රම ලෙස විසම්මුතිය මැඩපැවැත්වීම ද අලියෙව්ගේ ක්‍රියාමාර්ග අතර විය.

අසර්බයිජානයේ විදේශ ප්‍රතිපත්තියේ වැඩි කොටසක් නාගෝර්නෝ-කරබාච් ගැටුමට බෙහෙවින් බලපා ඇත. ඔවුහු අර්මේනියාවට එරෙහි ව ආර්ථික අවහිරයක් පවත්වා ගැනීම සඳහා සංස්කෘතිය අතින් අසර්බයිජානයට වඩාත් සමීප තුර්කිය සමඟ සමීප සබඳතා පවත්වා ගත්හ. නගෝර්නෝ-කරබාක් අසර්බයිජානියානු භූමියක් ලෙස අඛණ්ඩව පිළිගැනීම සඳහා මෙන්ම තෙල් හා ස්වාභාවික ගෑස් විකිණීම සහ ආයුධ මිලදී ගැනීම සඳහා ද වෙළඳපොළ සුරක්ෂිත කිරීම සඳහා අසර්බයිජානය රුසියාව සහ බටහිර රටවල් අතර සබඳතා පරෙස්සමින් සමතුලිත කරගෙන තිබේ.

අර්මේනියානු දේශ සීමාව වසා දැමීමත් සමඟ අසර්බයිජානය නක්චිවන් කඳවුරට යාමට භාවිත කරන ප්‍රධාන මාර්ගය ඉරානය හරහා පිහිටුවාගෙන තිබේ. කෙසේ වෙතත් ඉරාන-අසර්බයිජානියානු සබඳතා සංකීර්ණ ය. වර්තමානයේ අසර්බයිජානාව ලෙස පිළිගෙන ඇති කැස්පියන් සමුද්‍රීය භූමිය ඉරානයට අයිති බව ඔවුහු කියති. මෙම මුහුදේ ප්‍රධාන, නොදියුණු හයිඩ්‍රොකාබන් නිධියක් අඩංගු වේ.  තවමත් ගැටුමක් සිදුවී නැතත්, ඉරාන නාවික හමුදාව අසර්බයිජානියානු ඉංජිනේරුවන් ගවේෂණය කිරීමෙන් වළක්වා ඇත.

අනෙකුත් ප්‍රධාන ගැටලු ද සබඳතාවලට බලපායි. ඉරානයේ ජනගහණයෙන් 20-30% පමණ අසර්බයිජානුවන් වන අතර එය අසර්බයිජානියානු දේශ සීමාව වටා සංකේන්ද්‍රණය වී ඇත. එම දේශ සීමාවේ දෙපස සිටින අසර්බයිජානියානු ජාතිකවාදීහු එකම ධජයක් යටතේ ජනගහණය නැවත එක් කිරීමට සිහින දකිති. අසර්බයිජානය ඉරානයට එරෙහි සම්බාධකවලට ද සහාය දී තිබේ. රටවල් දෙකම අධික ලෙස ෂියා හා සුන්නි ආධිපත්‍යය සහිත රටවලින් වට වී සිටිය ද, අසර්බයිජානයේ ලිබරල් මුස්ලිම් ප්‍රජාව කොන්සර්වේටිව් ඉරානයට වඩා බෙහෙවින් වෙනස් ය. මේ අනුව, දීර්ඝ වශයෙන් බෙදාගත් ඉතිහාසයක් තිබියදීත්, දෙරට බොහෝ විට එකිනෙකට පටහැනි ය. කෙසේ වෙතත්, එක්සත් ජනපද-ඉරාන සබඳතා උණුසුම් වන විට මෙම සබඳතා වෙනස් වේ. මෙය අසර්බයිජානියානු-ඉරාන සබඳතා ද වැඩිදියුණු කිරීමට ඉඩ දෙනු ඇත. කෙදිනක හෝ නාර්ගෝර්නෝ-කරබාච් ගැටුම විසඳුනහොත්, අසර්බයිජානය ඉරානයට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීමටත්, කැස්පියන්හි ඉරාන හිමිකම් ප්‍රතික්ෂේප කොට උතුරු ඉරානයට භෞමික හිමිකම් ඉදිරිපත් කිරීමටත් හේතු විය හැකිය.

 නූතන අසර්බයිජානය

2003 දී හේඩාර් අලියෙව් ජනාධිපති ධුරයෙන් ඉවත් විය. ඔහුගෙන් පසු ඉදිරිපත් වූ ඔහුගේ පුත් ඉල්හැම් අලියෙව් මැතිවරණයේ දී ප්‍රචණ්ඩත්වය සහ ඡන්ද වංචා කළ බවට චෝදනා නැඟිණි.එහෙත් ඔහු පත් විය. ඉල්මාන් අලියෙව් බොහෝ දුරට තම පියාගේ දේශීය හා විදේශ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගොස් ඇත. නාගෝර්නෝ-කරබාච් මතභේදාත්මක භූමියක් ලෙස පැවතුන ද, සටන් කෙටි දේශසීමා සිදුවීම්වලට පමණක් සීමා වී ඇත. ගැටුම රජය විසින් හසුකර ගත් ජාතිකවාදයේ ප්‍රභවයක් බවට පත්ව ඇත. ලෝක බැංකුවට අනුව 2003 සිට ආර්ථික වශයෙන් එරට දළ දේශීය නිෂ්පාදිතය 10 ගුණයකින් වැඩි වී තිබේ. ආර්ථික සංවර්ධනය අසමාන වී ඇති අතර දුප්පත්කම ප්‍රධාන කාරණයක් ලෙස පැවතුන ද සමස්ත ආර්ථික තත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී තිබේ.

කෙසේවෙතත්, පාලන තන්ත්‍රය ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටී. ඛණිජ තෙල් අපනයනයෙන් 88%ක් පමණ බොරතෙල් වේ. තෙල් මිළ පහත වැටීමත් සමඟ ආදායම අඩුවද්දී රජයේ වියදම් මෙන් ම දළ දේශීය නිෂ්පාදිතය ද පහත වැටෙනු ඇත. මේ අනුව බකු නගරය ආර්ථික විවිධාංගීකරණය සඳහා පෙළඹී ඇත. තොරතුරු තාක්‍ෂණය දියුණු වෙමින් පවතින අතර සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර ජනමාධ්‍යවල ප්‍රචාරය වේ. යුරෝපය, මැදපෙරදිග සහ ආසියාව අතර කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමට රජය අපේක්ෂා කරන බැවින් නැව්ගත කිරීම සහ ප්‍රවාහනය සඳහා සහාය ලැබේ. කෘෂිකර්මාන්තයට ද එසේ ම ය. තෙල් මත යැපෙන මුදල් වටිනාකම වරින් වර පහත වැටෙන හෙයින් මහජන අතෘප්තියේ පොදු ප්‍රභවයක් වන ආහාර උද්ධමනය ස්ථාවර කිරීමට මෙය උපකාරී වේ.

කැළඹිලි සහගත ඉතිහාසය එයට අද්විතීය සංස්කෘතියක් ලබා දී ඇති අතර එහි දේශසීමා තුළ සහ ඇතුළත ආරක්ෂක ගැටලු ද ඇත. එරට වර්තමාන දේශපාලන ක්‍රමය විසින් දේශීය හා විදේශීය මිතුරන් ඇති කර ගෙන ඇති අතර රටට ස්ථාවරත්වයක් ගෙන ඒමේ නාමයෙන් ක්‍රියාත්මක කරන ලද ප්‍රබල ප්‍රතිපත්ති බොහොමයක් පිළිබඳ විවේචන එල්ල වී තිබේ. එහෙත් ඉදිරියට යන විට අසර්බයිජානයේ අනාගතය දීප්තිමත් වනු ඇතැයි අපේක්ෂා කිරීමට හේතු රාශියක් ඇති අතර අසර්බයිජානියානු ජනතාවගේ සමෘද්ධිය සහ නිදහස උදෙසා අඛණ්ඩ දියුණුවක් අපේක්ෂා කිරීමට ද බොහෝ හේතු තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author