3,000ක් වෙනුවෙන් සාදන ලද සරණාගත කඳවුරක 13,000ක් දෙනා ජීවත් වන්නේ නම් එහි සම්පූර්ණ වරද අදාළ රටෙහි රජය වෙත පැවරීමේ හැකියාවක් තිබෙන බවට සැක නැත. එහෙත් සරණාගතයින් එහි සිටිනුයේ සිය කැමැත්තෙන් ම නම්? රජයෙන් ඔවුනට වෙනත් කඳවුරක් ඉදි කර දීමට උත්සාහ කළ ද, ඔවුන් මෙම ස්ථානය අත්හැර යාම ප්‍රතික්ෂේප කරන්නේ නම් අදාළ රජය කුමක් කරන්න ද? ග්‍රීසියට අයත් දූපතක් වන ලෙස්බොස්හි සිදු වෙමින් පවතින්නේ එය යි. එහි පිහිටුවා තිබෙන ප්‍රධානතම සරණාගත කඳවුර වන “මොරියා” නම් වූ කඳවුර ඉදි කර තිබුණේ 3,000ක් වෙනුවෙන් පමණක් වුව ද, එහි 13,000ක සෙනඟක් පදිංචි වී සිටියහ. රටවල් හැත්තෑවකින් පමණ පැමිණි ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඇෆ්ගනිස්තාන ජාතිකයින් ය. පසුගිය දිනෙක එය ගින්නකට හසු විය. ගින්න හට ගත්තේ කෙසේ ද? යන්න හෝ ඊට වගකිව යුත්තේ රජය ද? යන කාරණාව පිළිබඳ කිසිවෙකු තවමත් ස්ථිර නිගමනයකට එළඹී නැත. එනමුත් සරණාගතයින් පවසන්නේ ගින්න හට ගත්තේ තම පිරිස හා ග්‍රීක හමුදාව අතර සිදු වූ බහින්බස් වීමකට පසු බව ය. එහෙයින් ඔවුන් ඍජුව ම චෝදනා කරන්නේ රජයට යි.
මේ වන විට ග්‍රීසියේ රජය විසින් පෙර පිහිටි කඳවුරට ආසන්නයෙන් “කාරා ටෙපේ” නම් වූ වෙනත් කඳවුරක් ඉදි කර දී තිබේ. එහෙත් සරණාගතයින් එහි යාම ප්‍රතික්ෂේප කරමින් සිටින බව පෙනේ. නව කඳවුරට විරෝධය දක්වමින් පසුගිය සිකුරාදා දින සරණාගතයින් පිරිසක් උද්ඝෝෂණයක ද නිරත වූහ. ඊට එම දූපතේ ස්ථිර පදිංචිකරුවෝ ද එක් ව සිටියහ. උද්ඝෝෂකයින් පිරිස පොලිස් මුරපොළ දක්වා පැමිණි හෙයින් ඔවුන් පාලනය කර ගැනීම සඳහා පොලිසිය වෙතින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. එහෙත් අදාළ ගැටලුව තවමත් විසඳී ඇති බවක් පෙනෙන්නට නැත.
මෙම සියලු ගැටුම් සඳහා මුල් වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය බවට සැල වී තිබේ. පසුගිය දිනෙක ගිනි ගත් කඳවුරින් වෛරසය ආසාදිතයින් 35 දෙනෙකු සොයා ගත් අතර, එ් සියලු දෙනා සෝමාලියානුවෝ වූහ. වැඩි දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් වීම සඳහා පවුල් සමඟ ම වෙනත් ස්ථාන කරා ගිය අතර, කිහිප දෙනෙකු පමණක් ඊට විරෝධතාව දක්වා තිබේ. බහින්බස්වීම හට ගෙන ඇත්තේ ඉන් පසුව ය. ඉකුත් සතියේ අඟහරුවාදා රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීමෙන් පසු කඳවුරේ ස්ථාන තුනකින් හදිසියේ ම ගින්න හට ගෙන ඇති අතර,ටිකෙන් ටික සම්පූර්ණ කඳවුර ම විනාශ විය.
මේ වන විට යන එන මං නොමැති ව සිටින සරණාගත පිරිසගෙන් එක් කොටසක් පමණක් නව කඳවුර වෙත ඇතුළු වීම සඳහා වෛද්‍ය පරීක්ෂාවලට ලක් වෙමින් සිටිති. අද වන විට දෙසියයක පමණ පිරිසක් නව කඳවුරේ ලියාපදිංචි වී ඇති අතර තවත් බොහෝ දෙනෙකු තම පවුල් ද සමඟ පිටත පෝළිම්වල රැඳී සිටින බව පෙනේ. ඇතැම්හු තවමත් නව කඳවුර කෙරෙහි අප්‍රසාදයෙන් කුඹුරු හා මංමාවත්වල දිග ඇදී සිටිති. ඇතැම් යුරෝපානු රටවල් බාලවයස්කාර සරණාගතයින් හට පමණක් උපකාර කිරීමට ඉදිරිපත් වී සිටින බව පෙනේ. නොයෙක් හේතූන් මත සිය රටින් සදහට ම පිට වී එන පුද්ගලයින් කිසියම් රජයක් විසින් අනිවාර්යයෙන් ම එම රටට ඇතුළු කොට ගෙන, සෙත සලසා දිය යුතු බවට නීතියක් නැත. එහෙත් මොවුන් හැසිරෙන්නේ සිය අයිතිවාසිකම් බලහත්කාරයෙන් ඉල්ලා සිටිමින් වීම කණගාටුවට කරුණකි.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්