Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අසම්පුර්ණ සහ වැරදි තොරතුරු හේතුවෙන් කොරෝනා මර්ධනය අවුල් විය හැකි බව – ජනපති හෙළිකරයි

සංචරණ සීමා වෙනස් කිරීම ගැනත් කතාකරයි

අසම්පූර්ණ සහ වැරදි තොරතුරු හේතුවෙන් කොරෝනා මර්ධනය සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී බරපතල අර්බුධයක් නිර්මාණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකලේ අද (18) පෙරවරුවේ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදියි.

මේ රැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනය පහළින්..

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීම නැවත ක්‍රියාත්මක කෙරේ.

ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.

සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ.

එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ.

පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ.

ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා පැවසීය.

දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මේ වන විට එන්නත් මිලියන 04කට අධික ප්‍රමාණයක් ගෙන්වා තිබේ. ජුලි මස අවම වශයෙන් තවත් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි ලිපි – මාස ගණන් පරණ කොරෝනා මරණ ගඳ ගස්සන ලංකාවේ අපුරු දත්ත වාර්තාකරණය – මොහාන් සමරනායකගේ මාධ්‍ය නිවේදනය

About The Author