Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අවුරුදු නිවාඩුවට Highway එක ගොඩ – ආදායම මිලියන 349 පනී

උත්සව සමයේ ගත වූ දින 11 ක (අප්‍රේල් 08 සිට 18 දක්වා) කාල සීමාව තුළ දී අධිවේගී මාර්ගවලින් උපයාගත් ආදායම රුපියල් මිලියන 349 කට අධික බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

උත්සව සමයේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළින් ලබා ගත් ආදායම සහ අධිවේගී මාර්ගය තුළ සිදුවූ රථ වාහන අනතුරු පිළිදව සවිස්තර වාර්තාවක් අද දින (19) අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ එම්. ලොඩ්වික් මහතා විසින් මහාමාර්ග අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

අදාළ කාලසීමාව තුළ වාහන 1,236,288 කට අධික ප්‍රමාණයක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බව මෙහිදී හෙළිව තිබෙනවා.

මෙම කාලසීමාව තුළ වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ අප්‍රේල් 10 වැනිදා වන අතර එම සංඛ්‍යාව 141,187 ක්.

එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 38ක ඉක්මවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා තිබෙන්නේ “එදා ජ.වි.පෙ. කිව්වේ දක්ෂිණ අධිවේගී මාර්ග හදනකොට කිව්වේ රාජපක්ෂලාට ඇඹුල්තියල් ගෙනියන්න තමයි මේ අධිවේගී මාර්ගය හදන්නේ කියලා. නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා කාලය ඉතිරි වෙනවා. අද මෙම අධිවේගී මාර්ග පද්ධතිය නිසා ගම්බිම් බලා යන ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. ඹවුන්ගේ ඉන්ධන පිරිවැය සහ ගමන් කාලය මෙම අධිවේගී මාර්ග පද්ධතිය නිසා අඩු වෙනවා. රුපියල් මිලියන 349කට ආසන්න ආදායමක් මෙම අධිවේගී මාර්ග පද්ධතිය නිසා අද අපට ලැබී තිබෙනවා. හණමිටි අදහස් තිබෙන මිනිසුන් සිටින තාක් මේ රට දියුණු කරන්න බැහැ. එම නිසා අපි ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු” බවයි.

© මාධ්‍ය ඒකකය – මහාමාර්ග අමාත්‍යාංශය

About The Author