Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අවවාදයයි – එක රැයෙන් ප්‍රාතිහාර්ය පෑමට ගොස් හත් පොලේ ගා ගැනීමෙන් වළකින්න

නොදන්නා මගුල් කතා කරන්නට ගොස් වරිගේ නහගන්නට එපා යනුවෙන් අපේ පැරැන්නන් කිවේ කට කහනවාට නොවේ.

 දේශපාලන නායකයන්ගේ ප්‍රතිරූප පුම්බාලීම සඳහා පූචානං කතා කිමට ගොස්  වරිගේ නසාගැනීම  දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සහ ගෝලීය සංස්කෘතියක් තුළ කළ නොහැක්කක් බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා තම ප්‍රථම මාධ්‍ය ප්‍රකාශයෙන්ම ඉගෙනගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා  අතර සිදුවූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස  මුළු ලෝකයටම  චීනයේ නිෂ්පාදිත සිනොෆාම්  එන්නත ලබාදීම සඳහා  අනුමැතිය ලබාදුන් බව හැගියන ආකාරයේ  මාධ්‍ය ප්‍රකාශයක්  සිදුකරමින් කිංස්ලි රත්නායක මාධ්‍ය ප්‍රකාශකවරයා උත්සාහ  දරන්නට ඇත්තේ ලංකාවේ ජනාධිපතිවරයා මාර පොරක් බව මවාපෑමට සහ කියා පෑමට වන්නට පුළුවන.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය වහා ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබෙන්නේ ලංකාවේ ජනාධිපතිවරයාගේ කිසිදු මැදිහත්වීමක් චීනයේ සිනොෆාම් එන්නත හදිසි තත්ත්වයක් යටතේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලබාදීමට හේතු නොවූ බවයි.

එන්නත භාවිත කිරීම සඳහා නිල වශයෙන් පුර්ණ අනුමැතියක් ලබා දී නොමැති බවත් යම් රටකට සිය අභිමතය පරිදි  හදිසි තත්වයක් යටතේ එම එන්නත භාවිතයට ගත හැකි බව පමණක්  නිර්දේශ කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

ඒ අනුව ජනතාව නොමග යවමින්  චීන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අනුමැතිය හිමි වූ බව පැවසීමේ ප්‍රකාශය ද  යම් ආකාරයකට අභියෝගයට ලක්ව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලය ලෙස  සිදුව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පමණක් නොව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතාද නිකරුනේ අපහසුතාවයට පත්වීමය.

මේ සිටින්නේ 60,70 දශකවල දී නම් කිංස්ලිගේ මාධ්‍ය ප්‍රකාශය හරහා රටේ ජනතාව  ටොපේ ටොපට ඇන්දවිය හැකිය.

නමුත් වත්මන් ගෝලීය සංස්කෘතිය තුළ එවැන්නක් කළ නොහැකි බව අවබෝධ කරගැනීමට  සියල්ලන්ටම අවස්ථාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව මාධ්‍ය ප්‍රකාශකවරයාට ද උපහැරණ සහිතව කියා දී තිබේ.

මීට දශක හතරකට පහකට පෙරදී නම් කිංස්ලි රත්නායක මෙලෙසින් වුවද තම ප්‍රකාශ සිදු කිරීමට ඉඩ තිබුණි. “ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අමතා සිදු කළ නියෝගයකට අනුව  වහාම  චීනය නිෂ්පාදිත සහ එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අනුමැතිය ලබාදී තිබෙනවා”

ඒ කාලයේ ඔහු  එවැනි ප්‍රකාශයක් සිදු කළ ද එය ඒ හැටි ගැටලුවක් නොවන්නේ අදාළ මාධ්‍ය නිවේදනය ආණ්ඩුවේ ම මාධ්‍ය තුළ  පමණක් ප්‍රචාරය වීම සහ  ලෝක මට්ටමෙන්  අදාල නිවේදන පිළිබඳ  වර්තමානයේ තරම් ගවේෂණාත්මක අධ්‍යනයන් සිදු නොවන බැවිනි.

නමුත් වර්තමානයේ  මුළු ලොවම  තනි ඒකකයක් ලෙස බන්ධනය කොට ඇති සන්නිවේදන අවකාශය තුළ  බොරු කතා, ගජබින්නාලංකාර වලින් පුද්ගල චරිත ඉහලට එසවිය නොහැකි බව අවබෝධ කර ගත යුතුය.

 එසේ උලුප්පා මතු කළ චරිත මඩ රිටි සේ පජාත වන අපූරුව ද  මේ වන විට දෑස මානයේම පෙනෙන්නට තිබේ.

අනික් අතට බරපතළ ව්‍යසනයකට රට මුහුණ දී තිබියදී  අතිශෝක්ති සහගත කරුණු,  තොරතුරු වසන් කිරීම,  තොරතුරු විකෘති කිරීම වැනි දෑ කරන්නට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් ද නැත.

එසේ සිදු කරනට යාමෙන් අවසානයේ රැවටෙන්නේ  එක් පුද්ගලයකු හෝ පුද්ගලයින් කීප දෙනෙකු පමණක් නොව  සමස්ත ජාතියක් සහ රටක් බව  සිහි බුද්ධියෙන් මතකයේ තබාගත යුතුය. 

එබැවින්  මාධ්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ,  මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ සහ  මාධ්‍ය ලේකම්වරුන්ගේ කාර්යභාරය, ප්‍රතිරූප පිම්බීමේ කාර්යභාරයට වඩා මාධ්‍ය සංදර්භයන් කළමනාකරණය කිරීම ,  රාජ්‍ය නායකයන් හා ජනතාව අතර තොරතුරු පාලම සක්‍රීය කිරීම , ජනතාව සහ පාලකයින් අතර ඇතිවන ගැටලු විසඳීම සඳහා  මැදිහත්වීම, මාධ්‍ය සහ නායකයින් අතර හොද හිත සහ සමීප භාවය ඇති කිරීම  ඇතුළු  මහා දැවැන්ත  වෘත්තීය කාර්යභාරයක් බව අවබෝධ කරගනිමිනි කටයුතු කිරීම වඩාත් උචිත බව  කවුරු කවුරුත් අවබෝධ කර ගනිත්වා!

එවිට අදාළ දේශපාලන චරිතද ශක්තිමත් ප්‍රතිරුප බවට ක්‍රමයෙන් පත්වන බවද වැටහේවා!

අවවාදයයි – එක රැයෙන් ප්‍රාතිහාර්ය පෑමට ගොස් හත් පොලේ ගා ගැනීමෙන් වළකින්න.

© මී මැස්සා

About The Author