Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලු දෙනා ම සතුටු කිරීම නො වෙයි : ජනපති නිදහස් උළලේදී කියයි

ආදර්ශමත් ලෙස හැසිරෙන්න ජනපති මැති ඇමතිවරුන්ට මතක් කරයි

නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාට ම අයිතිවාසිකම් තිබෙනවාක් මෙන් ම වගකීම් ද තිබෙනවා. ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනා ම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරන විටයි.

වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු නැහැ. රටක නිදහස වඩාත් අර්ථවත් වන්නේ එම රට, සමාජ, දේශපාලන හා ආර්ථීක යන සියලු අංශවලින් ශක්තිමත් වූ විටයි.

ඒ සඳහා සක්‍රීයව දායක වීමේ අවස්ථාව රජයට වගේ ම ජනතාවටත් තිබෙනවා. රටක් නිසි දිශානතියකට මෙහෙයවීමේදී ඒ සඳහා රටේ සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු විය නො හැකි බව අපි දන්නවා.

වෙනස් නො වන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප සැලසුම් කොට ඇති දේවල් අත හැර දමන්නට අප සූදානම් නැහැ.

අපේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලු දෙනා ම සතුටු කිරීම නො වෙයි.අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපට අපේ ඉදිරි ගමන සාර්ථක කර ගත හැක්කේ.

ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් අවශ්‍ය කැප කිරීම් කළොත් පමණයි අපට මුහුණ දෙන්නට වන අභියෝග ජය ගත හැක්කේ. අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තේත් නැහැ.

ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නො කොට විවේචනය කරන්නට පමණක් පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැහැ.

යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අද (04) උදැසන කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දින සැමරුම් උත්සවයට එක් වෙමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිනිය උත්සව භූමියට පැමිණීම සැළ කෙරෙමින් හොරණෑ වාදනය සිදු විය. මගුල් බෙර වාදනය සහ සක් පිඹීම මධ්‍යයේ ජනාධිපතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියන් විසින් ජාතික ගීය ගායනා කරනු ලැබිණ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික, ගුවන් හමුදාපතිවරු සහ පොලිස්පති ජනාධිපතිතුමා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබූහ. පාසල් සිසුවියන් “ජයමංගල ගාථා” හා “දේවෝ වස්සතු කාලේන” ගාථාව ගායනය, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවය සහ ජනාධිපති උත්තමාචාරය සිදු කරමින් ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු වූ අතර ඉන් අනතුරුව ජනාධිපතිතුමා ජාතිය ඇමතීය.

රට ඉදිරියේ ඇති අභියෝග ජයගත හැක්කේ ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් වූ කැප කිරීම් සිදු කළ හොත් පමණි. දුෂ්කර කාල සැමදා එ ලෙසම නොපවතී. දුෂ්කර කාලවලට මුහුණදීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. අප වර්තමානයේ මුහුණ දෙන ගැටලු කිසිවක් දීර්ඝකාලීන ගැටලු නොවන බව පැවසූ ජනාධිපතිතුමා, සුබවාදී ප්‍රවේශයකින් ගැටලුවලට පිළිතුරු සෙවිය හැකි බව සඳහන් කළේය.

රටට ආදර්ශයක් වන අයුරින් සැමවිටම කටයුතු කරන ලෙස සියලු මැති ඇමතිවරුන්ගෙන් සහ අනෙකුත් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා, ජනතාවට ඒ ආදර්ශය සපයන විට බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරනු ඇතැයි සඳහන් කළේය.

දිනූ නිදහස අනාගත පරපුර වෙනුවෙන් සුරකින අතර රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවට දුන් ප්‍රතිඥාව සැමවිටම සුරකින බව ජනාධිපතිතුමා අවධාරණ කළේය. නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කරගත් අභිමානවත් දේශයක් ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපතිතුමා සියලු දේශප්‍රේමී ජනතාවට ආරාධනා කළේය.

74 වන ජාතික නිදහස් දින උළෙල කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අභිමානය ප්‍රදර්ශනය වන අයුරින් සංවිධානය කර තිබිණ.

යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍යභට බලකාය ආචාර පෙළපාලියට එක්ව සිටී අතර ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් නියෝජනය කෙරුණු දැකුම්කලු සංස්කෘතික සංදර්ශනයකින් නිදහස් සමරු උළෙල වර්ණවත් විය.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, පස්වන විධායක ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කැබිනට් අමාත්‍යවරු, මහ බැංකුවේ අධිපති, රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවර, මහකොමසාරිස්වරු, ජනාධිපති හා අග්‍රාමාත්‍ය ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

© ජනාධිපති මාධ්‍ය අංශය

About The Author