Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපි යන්නේ ‘ගත දැවටෙන මේ සීත සුළං රැලි අහෝ සැපයි කීවා සේ ගමනක් ‘ චප්ප වෙන්න කළින් කරන්න ඕන දේ පාඨලී කියයි

ආණ්ඩුවේ දුර්වල කම වහගන්න විදුලි බිල වැඩි කිරීමත් අසාධාරණයි

අසාධාරණ ආකාරයෙන් සිදුකළ විදුලි බිල වැඩි කිරීම සහ අරගලයට සම්බන්ධ වූ පොදු මහජනතාව මර්දනය කිරීම සම්බන්ධයෙන් 43 සේනාංක නායක, පාඨලී චම්පික රණවක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී. එහිදී ඔහු අවධාරණය කළේ මෙම විදුලි බිල ඉහළ දැමීම සමාජ සාධාරණත්ව මූලධර්මය උල්ලංඝණය කරන්නක් බවය. එමෙන්ම විදුලිබල මණ්ඩලයේ පවත්නා අකාර්‍යක්ෂමතාව කෙරෙහි සැළකිල්ලක් නොදක්වමින් මණ්ඩලයේ දුර්වලතා කෙළින්ම ජනතාව මත පැටවීමට මෙහිදි ආණ්ඩුව ක්‍රියා කර තිබේ.

රට බංකොලොත් තත්ත්වයට පත් කිරීමට දායක වූ දේශපාලකයන්, නිලධාරීන් ඇතුළු පිරිස්වලට නීතිය ක්‍රියාත්මක නොකර, පීඩනයට ලක්ව සිටින, ඒ පීඩනයට එරෙහිව නැගී සිට අරගල කළ පොදු මහජනතාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මෙහිදී රණවක මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

“හෙට සිට විදුලි බිල වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත මහජන උපයෝගීතා කොමිසම ක්‍රියා කරන බව ප්‍රකාශ වී තිබෙනවා. මේ අනුව ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා සමස්තයක් හැටියට 95% කින්/ දෙගුණයකින් පමණ විදුලි බිල වැඩි වීමට නියමිතය. ඒකක 30 ට අඩු ඒ කියන්නේ ඉතාමත්ම අඩුවෙන් විදුලිය පාවිච්චි කරන කණ්ඩායම් සඳහා ඒක 264% පමණ ප්‍රමාණයක්. ඒ වගේම ඒකක 180 ට වැඩියෙන් ඉහළ ගණයේ විදුලි පාරිභෝගිකයන් සඳහා 75% ක පමණ වැඩිවීමක්. වාණිජ ස්ථාන සඳහා වැඩිවීම 37% ක්. කර්මාන්ත සඳහා 86% ක්, හෝටල් වලට 67% ක්, ආණ්ඩුවේ ආයතන සඳහා 90% ක්, ආගමික මධ්‍යස්ථාන සඳහා වැඩිවීම 489% ක් හැටියට නම් වෙලා තිබෙනවා. මේක තමයි දැනට ඉදිරිපත් වෙලා තිබෙන සූත්‍රය.

මේ ගැන කියන්න තියෙන්නේ වසර 10 කින් පමණ විදුලි බිල වැඩි වෙලා නැහැ. විදුලිබල මණ්ඩලය ඉන්ධන මිල ඉහළ යාම ආදිය නිසා පාඩු ලබන බව ඇත්තක්. නමුත් මේ මේ සඳහා මහජන උපයෝගිතා කොමිසම රැස් කරපු අවස්ථාවේදීත් මං බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මේ මිල වැඩිවීම තීරණය කිරීමේදී එක සමාජ සාධාරණත්වයේ මූලධර්ම පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අය මේ සමාජයට කරන්නේ ලොකු සේවයක්. අද තියෙන විදුලි ඉල්ලුමත් එක්ක බැලුවහම වැඩි ඉල්ලුම තියෙන අය පාලනය වෙන විදියට වැඩි ඉල්ලුම තියෙන අයට බර තබන විදුලි වැඩිවීමක් සිදු කරන්න කියන එක.

අද ආර්ථික අර්බුදය හමුවේ විදුලි ඉල්ලුම ඉතා බරපතල විදිහට කඩා වැටිලා තියෙනවා. ඇත්තටම මේ වර්ෂා සහගත තත්වයත් එක්ක ගල් අඟුරු සහ ජල විදුලියෙන් පමණක් විදුලි සැපයුම ලබා දෙන්න පුළුවන් මට්ටමකට 20% – 25% ක් අතර ප්‍රමාණයකින් විදුලි ඉල්ලීමේ කඩාවැටීමක් අපිට පේන්න තියෙනවා. මේ තත්ත්වය යටතේ ඒ කඩා වැටීමට හේතු වෙලා තියෙන්නේ කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රවල ඇතිව තියෙන ආර්ථික ගරා වැටීම. දැන් මේ විදිහට මේ කර්මාන්ත සඳහා 86% කින් මේක වැඩි කළාට පස්සේ ඒ ක්ෂේත්‍රවලට ඉතාම බරපතල ප්‍රශ්ණයක් උදාවෙනවාට සැකයක් නැහැ මේක. ඉතින් ඒ නිසා මේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඒක එච්චර යුක්ති සහගත තත්වයක් වෙන්නේ නැහැ.

වැදගත්ම කාරණය තමයි විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම විදුලිබල මණ්ඩලයේ පවතින අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ඇගයීම් පද්ධතියකින් තොරව විදුලිබල මණ්ඩලයේ සියලුම වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත වෙන්නේ නැහැ. ඒ නිසා විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම් වලට සමානව තමයි ඒක සිදු කළ යුත්තේ. අපි 2015 දි අවසාන වතාවට ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයන ස්ථානයක් බවට පත්කළා. විදුලි බිල සඳහා මාස හයෙන් හයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වා දීමක් කළා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව විධිමත් මිල සූත්‍රයකට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම සකස් කර ගනිමින් මේ කටයුත්ත කරන්න. ඒ සඳහා දැනටමත් අවශ්‍ය කරන ඒ කාර්යක්ෂමතා කඩයිම්, අපි අඳුන්වලා දීලා තියෙනවා විදුලිබල මණ්ඩලයට 2015 දි. ඒ අනුව, ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි නැත්නම් මේ විදුලිබල මණ්ඩලයේ සියලුම අකාර්යක්ෂමතාවයන්, දූෂණයන් ජනතාව පිට පැටවීම තමයි මේ ආකාරයට සිදුවන්නේ.”

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්ණවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;

ප්‍රශ්ණය :

ඔබතුමාට එන්න කියලා, ජනාධිපතිවරයා හම්බවෙන්න රැස්වීමක් එහෙම තිබුණේ. සර්ව පාක්ෂික අදහස් පොඩ්ඩක් කතා කරන්න කියලා. දැන් ඔබතුමාගේ මොකක් හරි හිතේ වෙනසක් වෙලා තියෙනවද? යම්කිසි විදියට ඔබතුමාටත් චෝදනාව ආවා. පහුගිය අරගලය කාලයේදී, මේක පිටිපස්සේ 43 ත් ඉන්නවා කියන චෝදනාවත් ආවා. ඔබතුමාට තර්ජනයක් එහෙම නැත්නම් ඔබතුමා වෙනම ක්‍රමයකින් ආණ්ඩුවට පොළඹවා ගැනීමක් සිදුවෙලා තියෙනවද?

නෑ. අපේ ස්ථාවරය අපි බොහොම පැහැදිලිව කිව්වා අපි සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වීම සඳහා වෙන තත්ත්වයන් අපි පැහැදිලි කළා. ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. පාර්ලිමේන්තුව තුළ ඉදිරි කාලයේදී අධීක්ෂණ කමිටු, අනුකමිටු ආදිය පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කමිටු වලට අපේ සේවය ලබා දෙන්න. විශේෂයෙන්ම කෝප් කමිටුවේ පසුගිය කාලයේ අපි මේ රටේ අර්බුදය පිළිබඳ ඉතාමත්ම මැනවින් ඒ කමිටුවේ අපේ සේවය ලබාදුන්නු බව මේ රටේ ජනතාව දන්නවා.

ප්‍රශ්ණය :

උපහැරණයක් තියෙනවා කැහි ගෑණි දීලා, හොටු ගෑණි ගත්තා වගේ කතාවක් කියලා, අපේ රටටත් ඒ වගේ දෙයක්ද වෙලා තියෙන්නේ?

දැන් ඇත්තටම මේ ආර්ථිකය කැහි, හොටු, සෙම සියල්ලෙන්ම ආසාදිත වෙලා ඉන්නේ. ඉතින් මේක බදාගන්න හැමෝටම ඒ ලෙඩේ බෝ වෙනවා. ආර්ථිකය බිඳ වැටිලා තියෙන්නේ හොඳටම.

ප්‍රශ්ණය :

ඔබතුමා කියන්නේ තිබුණා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ?

ආර්ථිකය කඩා වැටිලා තියෙන නිසා හැම ආකාරයකම ලෙඩ බෝ වෙලා තියෙන නිසා ඒ ආණ්ඩුකරණයට මැදිහත් වෙන හැමෝටමත් එක්තරා විදිහකට ඒ ලෙඩ බෝ වෙනවා ඉතින්.

ප්‍රශ්ණය :

අරගලය සම්බන්ධයෙන් යම් යම් සාමාජිකයන් අත්අඩංගුවට ගන්නවා. යම්කිසි මර්දනයකට මර්දනයක් ක්‍රියාත්මක වෙනවා, අද 9 වෙනිදාට සමගාමීව, විශේෂයෙන් විවිධ රැස්වීම් පවා ගියා මර්දනය වළක්වන්න කියලා. ඔබතුමා මොකද හිතන්නේ මර්දනය හොඳයිද, නැද්ද?

නෑ. නෑ. කිසිසේත්ම අනුමත කරන්න බෑ. මොකද හේතුව රට බංකොලොත් කරපු පිරිසක්. බොහොම පැහැදිලිව තාමත් රාජ්‍ය සේවයේ සහ විශ්‍රාම සුවයෙන් ඉන්නකොට, රට බංකොලොත් කරපු පවුලක් තමන්ගේ දේපළ විදේශ රටවල හංගගෙන, තමන්ගේ දරු පවුල් විදේශ රටවල නඩත්තු කරන කොට, රට බංකොලොත් වීමට එරෙහිව නැගී සිටපු පිරිස් වලට, දඬුවම් දීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වුණු, ජනාධිපති ලේකම් කාර්යාල වගේ තැන්වල බඩු භාණ්ඩ හොරකම් කරපු අයට දඬුවම් කරන්න ඕන නැහැ කියන එක. නමුත් මුළු රාජ්‍යයම මංකොල්ල කාලා, සාක්කුවේ දාගත්ත දේශපාලකයන් හා නිලධාරීන් පිරිසක් නිදැල්ලේ සිටියදී මේ කටයුතු කිරීමට කිසිම සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නෑ.

ප්‍රශ්ණය:

ඔබතුමන්ලාගේ අතෙත් මොකක්හරි ආණ්ඩු බලයක් තිබුණා නේද? පහුගිය කාලේ එකට ඉන්නකොට නේද? ඔබතුමන්ලාගේ කණ්ඩායම අතේ යන්තම් හරි?

අපි බොහොම පැහැදිලිව මේ කාරණය පැහැදිලි කරලා තියෙනවා. අවුරුදු 74 කතා කියනවා. 77 ඉඳන් කතා කියනවා. නමුත් මම බොහොම වගකීමෙන් කියනවා, මේ රට අද මේ තත්වයට පත්වෙන්න ප්‍රධාන වශයෙන්ම, මහින්ද රාජපක්ෂ මහත්මයත්, දේශපාලකයෙක් හැටියටත් පී. බී. ජයසුන්දර නිලධාරියෙක් හැටියටත් වගකිව යුතුයි.

ප්‍රශ්ණය :

අතරින් පතර ඇහෙන කතා එක්ක බැලුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා වෙනම ගමනක් යන්න සූදානමක් තියෙනවා කියන කතාව. පොඩි අගමැති හුවමාරුවක් වගේ දෙයක්. එහෙම ගැන කතා කොහොම වෙයිද ඒ සුසංයෝගය මේ මොහොතේ වුනොත්?

කවර සුසංයෝගයක් ඇති වුණත්, අවංක අභිලාෂයෙන් යුතුව කටයුතු නොකලොත්, විවෘත භාවයෙන් යුතුව කටයුතු නොකලොත් දැන් පවතින ආර්ථික තත්වයත් එක්ක තව බරපතල තත්ත්වයකට යන්න පුළුවන්. මම නැවත අවධාරණය කරනවා මේ වසරේ පළවෙනි මාස පහ අපි අර්බුද මැදින් ගියේ. ලයිට් කපාගෙන, තෙල් පෝලිම් දාගෙන අපි ගියේ. ඉන්දියාවෙන් අපට ලැබුණු දැවැන්ත ඩොලර් බිලියන 3 කට අධික සහනාධාර සහ චීනයෙන් අපිට ලැබුණු ඩොලර් බිලියන එකහමාරක පමණ වෙන මුදල් නිසයි. දැන් මැයි මාසෙන් පස්සේ කිසිම මුදලක් අපිට නැහැ. මේ ජූනි, ජූලි තියෙන්නේ කාගෙවත් උදව්වක් නැතුව. අගෝස්තු මාසේ කියන්නෙත් ඒ වගේ තත්ත්වයක්. අද වෙනකොට ඔය කිව් ආර් කෝඩ් තිබුනත් නැතත් ඩීසල් පරිභෝජනය තුනෙන් දෙකකින් අඩුවෙලා. පෙට්‍රල් පරිභෝජනය තුනෙන් දෙකකින් අඩුවෙලා. ඒ කියන්නේ රටේ කර්මාන්ත, සේවා ක්ෂේත්‍රවල දැවැන්ත බිඳවැටීමක් වෙලා තියෙන බව, ඩීසල් පරිභෝජනයෙන්ම පේනවා. ඒ වගේම, විදුලි පරිභෝජනය, මිල වැඩි කළත්, නොකළත් 25% කින් පමණ අඩුවෙලා. ඉතින් ඒක නිසා මේ රටේ ඇතිවෙලා තියෙන කඩා වැටීමේ වේගය ජුනි මාසෙන් පස්සේ ඉතා සීඝ්‍රයි. ඉතාම බලගතුයි. මම මේ කතා කරන්නේ මාර්තු මාසයට සාපේක්ෂව ජුලි මාසයේ තත්වය. ඉතින් ඒ නිසා මේ අගෝස්තු, සැප්තැම්බර් මාස වල වෙනත් විදේශ සහයක් අපට නොලැබුනොත් මේ තත්ත්වය තවත් සීඝ්‍රයෙන් වැඩි වෙන්න පුළුවන්.

මේ පෝලිම් නැහැ. දැන්, ගෑස් ඕන තරම් තියෙනවා කියන එක අර කන්දෙන් පහළට වැටෙන අය ‘ගත දැවටෙන මේ සීත සුළං රැලි අහෝ සැපයි කීවා සේ’ කතාවක්. ඒ නිසා අපි මේ ගල්පොත්තේ පහළ වැදිලා හිස පොඩි වෙන්න පෙර අපි ආර්ථික කළමනාකරණයක් කරගෙන, ඒ කියන්නේ වෙන අර්ථයෙන් කිව්වොත් පොඩි පැරිෂුට් එකක් හදාගෙන බිමට ලෑන්ඩ් කරේ නැත්නම් මේක චප්ප වෙලා යන්න පුළුවන්.

ප්‍රශ්ණය:

අයි ඕ සී එකට තව ෂෙඩ් පනහක් ලංකාවේ ස්ථාපිත කරන්න අවස්ථාව ලැබෙනවා? ඒ එක්කම අපි දකිනවා යම්කිසි සංවිධාන කිහිපයක් අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා කෝටි ගානක බෝනස් දුන්නා කියලා කතාවක්. මේ මොකද්ද මේ වෙන්නේ?

ඛනිජ තෙල් සංස්ථාව මෙහෙම පාඩු ලබන්න මොකක්ද හේතුව?

දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අපේ පිරිපහදුව වැඩ කරන්නේ නැහැ. ඉතින් පිරිපහදුව වැඩ කරන්නේ නැත්නම් අතිකාල දීමනා ලබාදීම වැරදි වැඩක්. එතකොට අනිත් ඒ පැත්තෙන්අයිඕසී සමාගම ලාභ ලැබුවයි කිව්වට; ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ආණ්ඩුවේ ආයතන පොලු තියලා තියෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය කළමනාකරණයත් 2020-21 නොකරපු නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අධික විදිහට ණය වෙලා ඒ ණයවලට ගෙවන්න වෙලා තියෙනවා. ඒ වගේම පිටරටින් තෙල් මිලදී ගැනීමේදී 120% ක් අපිට ගෙවන්න වෙලා තියෙනවා. අති විශාල පාරිතෝෂික, ගෙවන්න වෙලා තියෙනවා තෙල් වලට. ඒවා ඇතුලේ වංචා සිදුවීමේ ඉඩකඩකුත් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ප් රශ්න එකක්වත් මේ අයිඕසී එකට නෑ. ඒ නිසා ඒ අය ලාභ ලබනවා. හැබැයි ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. රුපියල් වලින් තෙල් වලට ලාභ ලැබුනට ඒගොල්ලන්ට ඉන්දියන් රුපියල් කරන්නවත්, ඩොලර් කරන්නවත් හැකියාවක් නැහැ. ඒ නිසා, ලංකාව හා ඉන්දියාව අතර, වෙළඳ පරතරය දැන් ඩොලර් බිලියන හතරේ සීමාවට ඇවිල්ලා. ඒ නිසා ඔය අයි ඕ සී ලාභය ගෙනියන්න ඒගොල්ලන්ට ක්‍රමයක් නැහැ.

ප්‍රශ්ණය:

මහජන උපයෝගීතා කොමිසමේ කාර්යභාරය මේකද?

මහජන උපයෝගීතා කොමිසම 2002 ඇතිකළේ ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ජල සම්පාදන මණ්ඩලය කියන රජයට අයත් උපයෝගීතා ආයතන පිළිබඳ නියාමන ආයතනයක් හැටියට. ඒකට හේතු වුණේ මේ ආයතන කලින් සම්පූර්ණ රජයේ අයිතිය තිබියදී මේ ආයතන කොටස් වලට කඩන්න තීරණයක් එවකට රජය ගත්තා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය කඩන්න තීරණය කළා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදාහැරීම් ක්ෂේත්‍රයේ කොටස් තුනකට කඩන්න තීරණය කළා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයටත් එවැනි යෝජනාවක් තිබුණා. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ, පෞද්ගලික අංශයේ අයත් යම් විදිහකට මේ ක්ෂේත්‍රවල ජලය, තෙල් හා විදුලිය සැපයීම් කරනවා නම් ඒගොල්ලන්ව නියාමනය කරන්න ඕනේ. ඒ සඳහා තමයි මහජන උපයෝගිතා කොමිසම මතු වුණේ. නමුත් අනික් ආයතන කිසිවක් මහජන උපයෝගිතා කොමිසමට ඉඩ දෙන පරිද්දෙන් තමන්ගේ අණ පනත් වෙනස් කළේ නැහැ. විදුලිබල මණ්ඩලය පමණක් 2009 දි තමන්ගේ අණ පනත් වෙනස් කරපු නිසා දැන් විදුලිබල මණ්ඩලයේ අය ක්‍රමය, විදුලිබල මණ්ඩලයේ ගාස්තු වගේ දේවල් සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීම නීත්‍යානුකූල ප්‍රතිපාදනයක්.

ප්‍රශ්ණය:

වසර අවසානයේදී විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට දීමනා එහෙම දෙන්න බෑ. ලාභ උපයන ආයතනයක් නොවන විදිහට සලකලා. ඔබතුමා මොකක්ද හිතන්නේ? මේක වෘත්තීය අරගල වලටත් එන්න පුළුවන් නේද?

විදුලිබල මණ්ඩලයේ සේවකයෝ වැඩි බව සම්පූර්ණ ඇත්ත. විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතනයක සේවකයන් සමඟ ගිවිසුම තිබෙනවා. ඒ ගිවිසුමට අනුව වසර 3 කට වරක් උද්ධමන අනුපාතිකයට අනුකූලව පඩි වැඩිවීම් සිද්ධ වෙනවා. දැන් තියෙන රටේ උද්ධමනයට අනුව නම් පඩි වැඩිවීම් කරන්න ගියොත් පඩි කිහිප ගුණයකින් වැඩි කරන්න වෙයි. ඒ ඒ තත්වයන් ගැන දැන් අලුතෙන් ඇත්තටම සළජා බලලා සේවක පාර්ශවයත් එක්ක යම් එකඟතාවයක් ඇති කර ගත යුතු වෙනවා. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත කොටස් කිහිපයකට වෙන් කිරීමේ වෑයමක් දරමින් ඉන්නවා. මේ තියෙන අකාර්යක්ෂමතාවයන් හා තත්ත්වයන් 2002 තිබුණු තත්ත්වය නෙමෙයි දැන් අවුරුදු 20 කට පස්සේ තියෙන්නේ. ඒ නිසා ඒක මේකට පිළියමක්ද කියන ප්‍රශ්ණයත් දැන් මතුවෙලා තියෙනවා.

© මාධ්‍ය ඒකකය

About The Author