Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සැකකරුවන්ට වෙඩි තබා මරා දමා පොලිසිය හැමදාම කියන එකම කතාව

මේ කරන්නේ හාල් මැස්සන් මරා දමා තෝරුන් මෝරුන් රැක ගැනීමක්ද ?

‘සන්ෂයින් සුද්දා’ හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියවෙන ලුණුවිලගේ ලසන්ත හෙවත් ‘ටිංකරිං ලසන්ත’ අද අලුයම පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත.

කළුතර ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබුණි.

සඟවා තිබූ පිස්තෝලයක් සහ අත් බෝම්බයක් සෙවීම සඳහා කළුතර දියගම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බවත්, ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත් පොලීසිය පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, ලුණුවිලගේ ලසන්ත බරපතල අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බව යි.

පාතාල වෙඩික්කරුවෙකු වන මොහුට එරෙහිව කුලියට මිනී මැරීම, මංකොල්ලකෑම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නඩු රැසක් පවතින බව ද පොලීසිය සඳහන් කරයි.

කෙසේ නමුත්, මින් මාස කීපයකට පෙර පොලිසිය සඳහන් කළේ සන්ෂයින් සුද්දාගේ ඝාතනය මිදිගම චින්තක හෙවත් “හරක් කටා” නම් තැනැත්තෙකු සැලසුම්කර ඇතිබව යි. ඔහු එසේ සිදුකර ඇත්තේ “අංගොඩ ලොක්කා” නම් පාතාල නායකයාගේ වුවමනාවටබව ද ඔවුහු එකල සඳහන් කළෝ ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කරයි

“ටිංකරිං ලසන්ත” ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

ඔවුන් පවසන්නේ ටිංකරිං ලසන්ත ඝාතනය කිරීමට පොලිසියෙන් සැරසෙනබවට තොරතුරක් ඊට පෙර දිනයේ දී තමාට දැනගන්නට ලැබුණු බැවින්, තම සංගමය මේ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කළබව යි.

“2021 නොවැම්බර් 25 දා රාත්‍රියේ නීතීඥ සංජය ආරියදාස මහතා ශ්‍රී ලංකො නීතීඥ සංගමයේ සභාපතිවරයා අමතමින් දැනුම් දුන්නන් එච්.එල්. ලසන්ත හෙවත් ටිංකරිං ලසන්ත නම් වූ ඔහුගේ සේවාදායකයකු කළුතර කොට්ඨාසයේ පොලිස් අපරාධ විමර්ශ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හා ආයුධ අත්අඩංගුවට ගැනීමට ගිය විටදී ඇති වන වෙඩි හුවමාරුවකින් මියගිය බවට ඇඟවෙන පරිදි පොලිසිය විසින් තම සේවාදායකයා ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බවට තොරතුරු ඔහුට ලැබී ඇති බව යි.”

“ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වහාම මේ පිළිබඳව පොලිස්පතිවරයාට ඊමේල් මඟින් හා කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දුන්නේ ය,”යි එහි සඳහන් විය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කරන්නේ තමා පමණක් නොව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා විධායකයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙකු ද පොලිසිය සම්බන්ධකර මෙම අපරාධය වැලැක්වීමට උත්සාහ දැරූබව යි.

“මෙම ඝාතනය සිදුවන්නේ එවැනි මැදිහත්වීම් පවා තිබියදී වීම දැඩි අවධානයට ලක්විය යුතු තත්ත්වයකි,” නීතීඥ සංගමයේ මාධ්‍ය ප්‍රකාශයේ සඳහන් වේ.

මෙම ඝාතනවල වගකීම ඝාතකයින් පමණක් නොව, ඝාතන සඳහා නියෝග නිකුත් කළ පුද්ගලයන් සහ සැකකරුගේ ආරක්ෂාව සහතික කිරීමට අසමත් වූ පුද්ගලයන් වෙත ද යොමුවිය යුතුබව ද, පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකුගේ ආරක්ෂාව සැලසීමට අසමත් වීම පිළිබඳව පොලිස්පතිවරයා ද කරුණු පැහැදිලි කළ යුතුබව ද සඳහන් කරන ශ්‍රී ලංකො නීතීඥ සංගමය, ඒ පිළිබඳව එම සංගමය වැඩි දුරටත් කටයුතු කරනු ඇතැ යි ද ප්‍රකාශ කරයි.ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ, පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම කරුණ පිළිබඳ දනුවත් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් විමසා දැනුවත් කළහැකි බවයි.

පොලිස් වෙඩිතැබීම් හේතුවෙන් පසුගිය වසරක කාලය තුළ මියගිය සැකකරුවන් මෙසේ ය:

  • 20/10/2020 – මාලිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘මාකඳුරේ මධූෂ්’ මරණයට පත්විය
  • 28/12/2020 – වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ නිශාන්ත කුමාරසිරි නැමති සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්විය
  • 11/05/2021 – පාතාල කල්ලි නායක ‘ඌරුජුවා’ නවගමුව වඳුරන්මුල්ලේ දී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගියේ ය
  • 13/06/2021 – පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක මීරිගම, දිවුලපිටිය පාරේ දී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය
  • 18/07/2021 – සීදුවේ දී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමට යාමේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මියගියේ ය
  • 24/09/2021 – පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට අවශ්‍ය සැකකරුවෙකු වූ ‘රත්මලානේ රොහා’ කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ දී බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මරණයට පත්විය
  • 26/11/2021 – සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හේවා ලුණුවිලගේ ලසන්ත හෙවත් ‘ටින්කර් ලසන්ත’ පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් කළුතර දී මියගියේ ය

© බී.බී.සී සිංහල

About The Author