Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෛවර්ණ මිනිසුන්ට ඇරුණු නිව්යෝර්ක් දොරටුව

අමෙරිකානු සමාජය තුල දේශපාලන න්‍යාය පත්‍ර‍ය මෙහෙය වන දුරස්ථ පාලකය වන්නේ සාම්ප්‍ර‍දායික ප්‍රාග්ධනය හිමි බලවතුන්ගේ පංතිය බව රහසක් නොවේ. එම පංතියේ න්‍යාය පත්‍ර‍යට අභියෝග කිරීම දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක් ලෙසින් විශ්වාස කරන තත්වයක් අමෙරිකානු සමාජය තුල පවතී. එම න්‍යාය පත්‍ර‍යට අනුව සමාජවාදියෙකු සහ කොමියුනිස්ට්වාදියෙකු වශයෙන් පෙනී සිටින්නන් දෙස අපරාධකරුවන් ලෙසත්, මුස්ලිම්වරයෙකු වන විට ඔහු ත්‍ර‍ස්තවාදියෙකු ලෙසත්, බලන සමාජ වටපිටාවක් මෙම බලගතු පංතිය විසින් ලොව පුරා නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටීම අප දකින යථාර්ථයයි. මෙවැනි පසුබිමක“මම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවාදියෙක්” යයි කියමින් සොහ්රාන් මම්දානි තම චන්ද ව්‍යාපාරය අභීතව මෙහෙය වූ ආකාරය සැබැවින්ම විශ්මය ජනකය.

මම්දානිගේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවාදී දැක්ම මේ අයුරින් එළිදකින විට මගේ මතකයට නැගුනේ, 1963 වසරේ දින දෙකක් තිස්සේ කලුතර පැවැති එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී “ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවාදය” තම පක්ෂයේ දැක්ම බව එම සමුළුවේදී යෝජනාවකින් සම්මත කරගෙන නිල වශයෙන් ප්‍ර‍කාශයට පත්කිරීමේ සිද්ධියයි.
හුදු නායකයන්ගේ කතාවලට පමණක් සවන් දෙන සංදර්ශන සමුළුවක් වෙනුවට දින දෙකක් තිස්සේ පැවැති මෙම සමුළුව නියෝජිතයින්ගේ අදහස් වලට ඉඩ දෙමින් සාකච්ඡා වලින් අනතුරුව තීන්දු තීරණ ගන්නා වූ සහභාගීත්ව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය පෙන්නුම් කරන සමුළුවක් වුණා.

පක්ෂයේ දැක්ම පිළිබදව පැවැති උණුසුම් වාද විවාදවලින් පසු “ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවාදය” තම දැක්ම බව ප්‍ර‍කාශයට පත්කිරීමත්, ඒ අයුරින්ම ඒ මග යාමට ඩඩ්ලි සේනානායකයන් තම දේශපාලනය ජීවිතය තුල කැපවී කටයුතු කිරීමත් දකින්නට තිබුණා.

කොමියුනිස්ට්වාදියා සහ සමාජවාදියා යන වචන දෙක තහනම් වචන ලෙස සැලකෙන සමාජ පසුබිමක, සමස්ත අමෙරිකානු දේශපාලනය කම්පනයට පත් කරමින් නිව්යෝර්ක් ජනතාව නගරාධිපති තේරීමේ මැතිවරණයේදී ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවාදියෙකු තම නගරාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ විශිෂ්ඨ ජයග්‍ර‍හණයක් ඔහු වෙත ලබාදෙමිණි.

සමාජ සාධාරණත්වය මෙන්ම ආර්ථික සාධාරණත්වය ගැන වූ පණිවිඩය ඉහළින්ම මතුකරමින් තම සමාජයේ පවතින ඇති-නැති පරතරය සහ සමාජ විෂමතාව මම්දානි ප්‍ර‍ධාන වශයෙන් තම චන්ද ව්‍යාපාරයේදී ඇමතූ කරුණ වුනා.

තම සමාජයේ සම්ප්‍ර‍දායික පාලක පැලැන්තිය වග උත්තරකරුවන් කරමින් ඔහු ඉදිරිපත් කල කරුණු, ඔවුන්ට එරෙහි චෝදනා පත්‍ර‍යක් වුණා. මම්දානිගේ සන්ධානය මධ්‍යස්ථ මතධාරීන්, සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදීන්, සමාජයේ සියළු ජනකොටස් සම්බන්ධව සිටි පුළුල් සන්ධානයක්. චන්දදායකයන්ගේ අවශ්‍යතාවන්, අභිලාෂයන්, අපේක්ෂාවන් හදුනා ගැන්ම ඔවුන්ගේ පොදු එකගතාව වුණා.

අමෙරිකානු දේශපාලනඥයන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගනිමින් සිටින අතලොස්සකගේ දූෂිත දේශපාලනයේ සංකේතයක් ලෙස ට්‍ර‍ම්ප් හදුන්වමින්, ඔහු ගෙන ගිය චන්ද ව්‍යාපාරය පහසු අභියෝගයක් වුනේ නැහැ.

මම්දානිගේ මැතිවරණ ව්‍යාපාරයේ දේශපාලන උපදේශක වූ 28හැවිරිදි මොරිස් කැට්ස් එම ඇරයුම ලැබූ මොහොතේ “මම්දානි කොහොමද මෙම මැතිවරණය දිනන්නට යන්නේ?” යන ප්‍ර‍ථම සිතිවිල්ල තමන්ට ඇතිවූ බව සම්මුඛ සාකච්ඡාවකදී ප්‍ර‍කාශ කර තිබුණා.

ඔහුගේ ප්‍රථම සිතිවිල්ල එසේ වීමට හේතු කිහිපයක්ම තිබුණා. ඔහු නියෝජනය කරන ඩිමොක්‍ර‍ටික් පක්ෂය තුල තිබූ විශාල බෙදීම් සහ ව්‍යාකූල තත්වයන් මෙන්ම ඉස්ලාමෝෆෝබියා භීතිය උච්ච ලෙස මතුකර ඇති පසුබිමක, දකුණු ආසියාතික, අප්‍රිකානු, මුස්ලිම් මූලයක් ඇති අයෙකු මේ මැතිවරණය ජයග්‍ර‍හණය කිරීම කළ හැකිද යන්න සැබැවින්ම අභියෝගයක්ව තිබුණා.

තමන් තුළ තිබූ දැක්ම සහ එහි නිවැරැදි බව පිළිබදව ඔහුට තිබූ විශ්වාසයත්, අධිෂ්ඨාන ශක්තියත්, ඔහුගේ ආකර්ශනීය පෞරුෂයත්වය, සහකම්පනය මෙන්ම තම අදහස් චන්ද දායකයන්ට සන්නිවේදනය කිරීමට ඔහුට තිබූ ඉහළ හැකියාවත් මෙම චන්ද ව්‍යාපාරයේදී හොදින් පෙනෙන්නට තිබුණා.

තම මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු ඩිමොක්‍ර‍ටික් පක්ෂය සාම්ප්‍ර‍දායිකව අඩුවෙන් චන්ද ලබන ප්‍රදේශවලට ගොස් එම ප්‍රදේශයේ චන්ද දායකයන් හමුවී සංවාදයේ යෙදීම අත්හැරියේ නැහැ. සාමාන්‍යයෙන් චන්ද ව්‍යාපාරවලදී අපේක්ෂකයන් සිදුනොකරන ලෙසින් ඔහු, “මේ වෙනස සදහා ඔබේ සහාය මට අවශ්‍යයි.” කියමින් එම ප්‍රදේශවල ජනතාව පුද්ගලිකව හමුවෙමින් සංවාදවල යෙදීම සිදුකලා.

මෙයට හොද ප්‍ර‍තිචාරයක් මැතිවරණයේදී ලැබුණා. ජනාධිපතිවරනයේදී නිව්යෝර්ක් ප්‍රදේශයේ ට්‍ර‍ම්ප් ජයගත් කොට්ඨාශයන්හි ට්‍ර‍ම්ප් ලැබූ චන්ද ප්‍ර‍මාණයට වඩා වැඩි චන්ද ප්‍ර‍මාණයක් ලබමින් මම්දානි ජයග්‍ර‍හනය කර තිබුණා. එමෙන්ම අමෙරිකාවේ වැඩියෙන් යුදෙව් ජාතිකයන් පදිංචි ප්‍රදේශය වන නිව්යෝක්හි 30%ක යුදෙව් චන්ද ඔහුට ලැබී ඇති බවට මාධ්‍ය වාර්තා කලා. අනෙකුත් සියළු ජන කොටස් වලින්ද (කළු,දුඹුරු,අප්‍රිකානු, ලතින් අමෙරිකානු සම්භවයක් ඇති) 50%කට වඩා චන්ද ඔහු ලබාගෙන තිබූ බව මාධ්‍ය වාර්තා සදහන් කර තිබුනා.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී ස්වේඡ්චා සේවය ලබාදුන් පිරිස ලක්ෂයකට වැඩි වූ අතර, ඒ තුළින් මේ ජයග්‍ර‍හනය සදහා චන්ද දායකයන් තුල තිබූ ක්‍රියාකාරී සහභාගීත්වය කොතෙක්ද යන්න හොදින් දැකගන්නට පුළුවන්කම තිබුණා.

මේ මැතිවරණයේදී මම්දානි මතු කළ කරුණු අමෙරිකානු සමාජයේ සම්ප්‍ර‍දායික දේශපාලනය මුදලේ බලයෙන් පාලනය කරන අන්ත දක්ෂිනාංශික පංතිය දුටුවේ තමන්ට එල්ල වූ දරුණු අභියෝගයක් ලෙසයී. එබැවින් මම්දානි පරාජය කිරීම සදහා මුදල් කන්දරාවක් වියදම් කිරීමට ඔවුහු ඉදිරිපත්ව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුට නොයෙකුත් අවලාද අපහාස ඉතා ප්‍ර‍බල ලෙසින් මේ පිරිස් මැතිවරණ ව්‍යාපාරය තුල මතුකර තිබුණා. ඔහු කොමියුනිස්ට්වාදියෙකු බවත්, ඔහු මැදපෙරදිග ත්‍ර‍ස්තවාදී සංවිධානවල සබදතා ඇති අයෙකු බවත්, ඔහු නගරාධිපති ධූරයට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැති අයෙකු බවත් ආදී විවිධ චෝදනා වැලක් ඔහුට එල්ල කර තිබුණා.

මේ සියලු අභියෝග මධ්‍යයේ ඔහු ලද ජයග්‍රහණය සැබෑ ජනතා ජයග්‍රහණයක්. මැතිවරණ ජයග්‍රහණය කිරීමට නම් සාම්ප්‍රදායිකව ඉහළ පන්තියේ ධනවත් බලවේගවල අනුග්‍රාහත්වය නොමැතිව කළ නොහැක්කක්ව යන්න තවදුරටත් වලංගු නොමැති බව මේ ජයග්‍රහණය තුළින් නිව්යෝර්ක් ජනතාව පෙන්නුම් කර තිබෙනවා.

අමෙරිකානු සමාජයේ ආර්ථික සමාජ සාධාරණත්වය ඇමතීම ස්ථිරවම ප්‍රමුඛතාව දිය යුතු කරුණක් බව මේ චන්ද ප්‍රතිඵල මතුකර දක්වනවා.

විවිධත්වය ඉවසන, විවිධත්වය සමග ජීවත්වීමට සූදානම් වන නව පරපුරක බලපෑම මේ චන්ද ප්‍රතිඵල පැහැදිලිව හෙළි කර තිබෙනවා.

ගෝලීය යුක්තිය පිළිබඳ සැලකිල්ල දක්වන අමෙරිකානු සමාජයක මතුවීමද මේ චන්ද ප්‍රතිඵල තුළින් පෙන්වා තිබෙනවා.

ඉස්ලාමෝෆෝභියාව මෙන්ම සංක්‍රමණිකයන්ට විරුද්ධ ට්‍රම්ප් ප්‍රමුඛ බලවේගය ඇතිකර ඇති භීතිය ප්‍රතික්ෂේප කරන සහ එය පැරදවූ මැතිවරණ ජයග්‍රහණයක් වෙනවා.

අමෙරිකානු දේශපාලනයේ සාම්ප්‍ර‍දායික ගමන විප්ලවීය වෙනසකට බදුන් කරමින් නව ජනතාවාදී දේශපාලන ප්‍ර‍වණතාවක ආරම්භය සනිටුහන් කරන අවස්ථාවක් ලෙස මෙම මැතිවරණ ප්‍ර‍තිඵලය මම දකිනවා.

  • ඉම්තියාස් බාකීර් මාකාර්

About The Author