Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෛද්‍යවරුන් සුනඛයින්ගෙනුත් පහලට

මෙවර අයවැයෙන් සත්ත්ව සුභසාධන කටයුතු සඳහා විශාල ප්‍රාග්ධනයක් වෙන් කර තිබුණද, තරුණ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවා තබා ගැනීමට හෝ ඔවුන් දිරිමත් කිරීමට ප්‍රතිපාදන වෙන් නොකිරීම කනගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙන්නේ, දිවයින පුරා ග්‍රාමීය රෝහල්වල සිට ප්‍රාථමික සත්කාරක සේවා දක්වා දවසේ පැය 24ම, සතියේ දවස් 7ම සේවය කරන සෞඛ්‍ය වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් සිටින බවයි.

ඔවුන් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය දර්ශක ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන නමුත්, මෙවර අයවැයෙන් ඔවුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව ඔහු සඳහන් කළේය. අවම වශයෙන්, එම කණ්ඩායම් සඳහා දිරිගැන්වීමක් (Incentive) හෝ ලබාදීමට කටයුතු කළේ නම් එය අගය කළ හැකිව තිබූ බව ඔහු පෙන්වා දුන්නේය.

වෛද්‍යවරුන් හැර අනෙකුත් නිලධාරීන්ට නිල වාහන, ප්‍රවාහන දීමනා ඇතුළු විවිධ වරප්‍රසාද හිමි වන නමුත්, වෛද්‍යවරුන්ට එවැනි පහසුකම් නොමැති බවත්
ඔවුන් සිය පුද්ගලික වාහනවලින් රාජකාරි සඳහා පැමිණෙන අතර, වෛද්‍යවරුන් වෙත ලබා දී තිබූ නිදහස් වාහන බලපත්‍රය ද දැනට වසර කිහිපයක සිට ක්‍රියාත්මක නොවීම නිසා, අලුතින් වාහනයක් ගැනීමට අපේක්ෂා කරන තරුණ වෛද්‍යවරුන් දැඩි ලෙස අධෛර්යයට පත්ව සිටිති. නිදහස් වාහන බලපත්‍රය මෙරට රැඳී සිටීම සඳහා වූ වැදගත් උත්තේජකයක් බව ද ඔහු සඳහන් කළේය.

වෛද්‍ය සංජීව මහතා අනතුරු අඟවන්නේ, වසර ගණනාවක් තිස්සේ පවතින වැටුප් විෂමතා සහ දැනට ක්‍රියාත්මක අධික බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෛද්‍යවරුන්ට ලැබෙන මූලික වැටුපට සාපේක්ෂව ඔවුන් ගෙවන බදු ප්‍රමාණය ඉහළ යාම නිසා, තරුණ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාව තවදුරටත් වේගවත් විය හැකි බවයි.

පුද්ගලික සේවයේ නොයෙදීම නිසා රාජ්‍ය සේවයේ නියැලෙන වෛද්‍යවරුන් මුහුණ දෙන ආර්ථික උද්ධමනකාරී තත්ත්වයන්, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට සෘජුවම අනර්ථයක් සිදු කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.

දුරස්ථ ප්‍රදේශවල සේවය කරන බොහෝ වෛද්‍යවරුන්ට නිල නිවාස පහසුකම් පවා නොමැති අතර, ඔවුන් තම පුද්ගලික ආදායමෙන් කොටසක් නේවාසික පහසුකම් සඳහා වැය කරති. රට හැර ගොස් සිටින වෛද්‍යවරුන්ට නැවත පැමිණෙන්නට ආරාධනා කළද, ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය සෞඛ්‍ය හා සමාජ සුභසාධක පහසුකම් ලබා දීමට රජය ප්‍රායෝගිකව අපොහොසත් වී ඇත.

රජය විසින් වෘත්තියවේදීන් කෙරෙහි දක්වන “කුඩම්මාගේ සැලකිලි” තේරුම් ගත නොහැකි බවත්, මැතිවරණ පොරොන්දු ඉටු නොකිරීම ගැනත් සඳහන් කළ වෛද්‍ය සංජීව මහතා, මෙම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සෘජු අවධානය යොමු විය යුතු බවට ඉල්ලා සිටියි.

About The Author