Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“වෙළඳසැල් කිසිවක පොල්තෙල් ෂුවර් නෑ – ඇතැමුන් සත්‍ය වසන් කොට පිලිකාකාරක ජනතාවට කවන්න හදනවා” ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු හෙළි කරයි

අද වන විට වෙළෙඳ පොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානක හා අනතුරුදායක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් සිදු කළ නියැදි පරීක්ෂාවකදී ලද ප්‍රතිපල වලට අනුව මෙම අවදානම් සහගත තත්වය මතුව ඇති බවයි.

එමෙන්ම පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙම ප්‍රතිපල වල සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසන් කර හිතාමතාම පිළිකාකාරක පොල් තෙල් පරිභෝජනය සඳහා ජනතාව පොළඹවමින් ප්‍රකාශ සිදුකරන බවද රාජපක්ෂ මහතා සිය මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා,

උපුටා ගැනීම

2021 මාර්තු මස 25 සහ 26 යන දිනවල ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් විවෘත වෙළෙඳපොළෙන් ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 55 ක් පොල් සංවර්ධන අධිකාරිය වෙත භාරදුන් අතර එම සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ප්‍රථිපල අප්‍රේල් මස පළමු වැනි දින පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබාදී ඇත.

එසේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබී ඇති සාම්පල් පරීක්ෂාව milligrams per kilo (10 PPB) එනම් අංශු බිලියනයකට ඇෆලටොක්සීන් කොටස් ගණනය කිරීමේ ක්‍රමය මගින් සිදුකර ඇත.

ඉහත කී පරීක්ෂණ ක්‍රමවේදයට අනුව පොල් තෙල්වල අංශු බිලියනයකට ඇෆලටොක්සීන් අංශු 10කට වඩා වැඩිනම් එය ඉතා බරපතළ ගණයේ මිනිස් සිරුරට පිළිකා කාරක සපයන්නක් වේ.

එකී පරීක්ෂණය අනුව අංශු 17.9 ක් වැනි ඉතාමත්ම භයානක මට්ටමකට පිළිකා කාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පල් ද පැවැති බවට නිගමනය කොට ඇත.

සාම්පල 55 අතුරින්,

* ඇෆලටොක්සීන් අගය 10 ඉක්ම වූ සාම්පල් 06ක්
* ඇෆලටොක්සීන් අගය 05 ඉක්මවූ සාම්පල් 4ක්
* ඇෆලටොක්සීන් නොතිබූ බවට තහවුරු කළ සාම්පල් 08ක්

ඉහත කරුණු අනුව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එම්.එල්.ඩී. නිරෝෂන මහතා අප්‍රේල් පළමු වන දින මාධ්‍ය අමතමින් එම සාම්පල්වල මිනිස් සිරුරට අහිතකර ඇෆලටොක්සීන් නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතළ අසත්‍යක් බවත්, ඔහු හිතාමතාම පිළිකා කාරක අඩංගු පොල් තෙල් මහජනතාවට පරිභෝජනය කිරීමට පොළඹවා ජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත්කරන බවත් පැහැදිලිය.

එකී සාම්පල ලබාගෙන තිබුණේ පිටරටින් ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල් තෙල් ( crude coconut oil) තොගවලින් නොවන බවත්, දැනටමත් රටපුරා බෙදාහැර ඇති සිල්ලර කඩවලින් ලබාගෙන ඇති සාම්පල්වලින් බවත් පැහැදිලි වේ.

ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානක සහ අනතුරුදායක බව ජනතාවට අවධාරණය කර සිටිමි.

විජයදාස රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී

About The Author