Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෙතෙක් සිදුවූ පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි : බොරැල්ල දේවස්ථානයට බෝම්බය ගෙනා බව කියූ තිදෙනක් මුදා හැරීමට අධිකරණය නියෝග කරයි

පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳ අධිකරණය අවධානයෙන්

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම දේවස්ථානයේ සේවකයන් හතර දෙනාගෙන් 3 දෙනෙකු මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝගය කර තිබෙනවා.

බොරැල්ල – සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවුණේ පසුගිය මස 11 වැනිදායි.

එදින පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර දේවස්ථානය පිරිසිදු කටයුතු කරන සේවකයෙකු ද ඒ අතර වුණා.

කෙසේ වෙතත් දින දෙකකට පසු කාදිනල් හිමිපාණන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ විවේචනය කළා.

උන් වහන්සේ එහිදී පැවසුවේ සිද්ධිය වු දිනයේ පස්වරු 3න් පසු CCTV දර්ශන පමණක් පරික්ෂා කර ඇති බවයි.

ඊට පසුදින විෂයභාර අමාත්‍ය සරත් වීරසේකර මහතා කාදිනල් හිමියන්ට පිළිතුරු දෙමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධි දාමයෙන් පසු කාදිනල් හිමිපාණන් විසින් CCTV දර්ශණ ඔස්සේ පෙන්වා දුන් දේවස්ථානයේ බෝම්බය තැබූ බවට සැකකෙරෙන පුද්ගලයාව පසුගිය 16 වැනිදා ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුනා.

අදාළ සැකකරු කඩවත අශෝකාරාම පාරේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී වෛද්‍යවරයකු විසින් බෝම්බය ලබා දුන් බවටත්, ඒ සඳහා රුපියල් 50000ක මුදලක් ලබාදුන් බවත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය පසුගිය 17 වැනිදා පිළියන්දල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත්තා.

මේ අතර බොරැල්ල දේවස්ථානය, නාරාහේන්පිට ලංකා රෝහල හා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය ආසන්නයෙන් අත් බෝම්බ හමුවීමේ සිද්ධීන් අතර එකිනෙකට සම්බන්ධ කුමන්ත්‍රණයක් ඇති බව පවසමින් පොලිස් මුලස්ථානයට පසුගිය 29 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති විශ්‍රාමික වෛද්‍යවරයා අදාළ සිද්ධීන් තුනටම සම්බන්ධ බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පැවසුවේ අදාළ විශ්‍රාමික වෛද්‍යවරයා නාරාහේන්පිට ලංකා රෝහලේ සහ බෙල්ලන්විල විහාරස්ථානය අසල බෝම්බ තැබීමේ සිද්ධිවලටත් සම්බන්ධ බවයි.

මේ අතර අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පසුගිය 26 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැය 2ක රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයේ දින 1000 සිහි කිරීම අඩාල කිරීමේ අරමුණින් බොරැල්ල දේවස්ථානයේ බෝම්බය තබන්නට ඇතැයි සැක මතුවන බවට ඊයේ අධිකරණයේදී සඳහන් වුණා.

ඒ, රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු තිදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරුණු දැක් වූ අවස්ථාවේදී.

මේ අතර පසුගියදා එම නඩුව කැඳ වූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසයි.

About The Author