Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාදිවෙල තෙත් බිමක් කුරුළු උද්‍යානයක් බවට පත් කෙරේ – කොන්ත්‍රාත්තුව ඇවන්ගාඩ් සමාගමට – වටිනාකම රුපියල් බිලියන 3 ක්

මාදිවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා ආරම්භ කර තිබෙනවා.

විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක අංශය පුනර්ජීවනය කිරීම අරමුණු කර ගනිමින් අක්කර 39 ක භුමි ප්‍රදේශයක මෙම පක්ෂි උද්‍යානය ඉදි කෙරෙනවා.

මාදිවෙල ප්‍රදේශයේ අදාළ තෙත් බිම, පක්ෂි උද්‍යානයක් බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍යාපෘතියට වෙන්කර ඇති මුදල රු. බිලියන 1.51ක් ලෙස නාලක ගොඩහේවා මහතාගේ ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර තිබුණද අදාල ස්ථානයකි ප්‍රදර්ශනය කර ඇති සහ ගොඩහේවා මහතාගේ ෆේස්බුක් පිටුවෙහිම පළකර ඇති පුවරුවේ දැක්වෙන්නේ එම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් බිලියන 03ක් වන බවයි.

අදාළ ව්‍යාපෘතිය භාර දී තිබෙන්නේ ඇවන්ගාඩ් සමාගමටයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක උපුටාගැනීම

දෙස් විදෙස් කුරුල්ලන්ගෙන් හා ලොව ප්‍රධාන සංචාරක උද්‍යානයන්හි ඇතුලත් නවතම ක්‍රීඩා අංගයන්ගෙන් යුක්තව පරිසර හිතකාමී අයුරින් මෙම උද්‍යානය ඉදිකිරීමට නියමිතය. මෙම උද්‍යානය කුරුළු සංදර්ශන, විදේශ හා දේශීය පක්ෂි ගවේශන, ජල උද්‍යාන, වන උද්‍යාන හා අවන්හල් වලින් සමන්විත අංග සම්පූර්ණ තෙත් බිම් උද්‍යානයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම දැනට විනාශ වෙමින් පවතින මාදිවෙල තෙත් බිම සුරැකෙන අයුරින් සියළුම ඉදිකිරීම් නිම කිරීමට යෝජිත අතර තෙත් බිමෙන් 02% ප්‍රමාණයක් පමණක් සංවර්ධනය වෙන ආකාරයෙන්ද අනෙක් භූමි ප්‍රමාණය පරිසර හිතකාමී ලෙස උද්‍යාන නිර්මාණය සැලසුමකට අනුකූලව සංවර්ධනය කිරීමට යෝජිතය.මෙම ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් බිලියන 1.51ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර වසර 02ක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතය. පරිසර හිතකාමී මෙන්ම රටේ පවතින නීතිමය ක්‍රමවේදයට යටත්ව මෙම කුරුළු උද්‍යානය ඉදිකිරීමට යෝජිත අතර ව්‍යාපෘතිය සඳහා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතනයන්හි අනුමැතිය හා සංවර්ධන සැළසුම් මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම යෝජිත කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය ආයෝජකයා විසින් ඉදිකිරීම් හා නඩත්තතු කර පවත්වාගෙන යාම සිදුකළ යුතුය.රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරන ලද වසර 30 ක බදු වටිනාකම පදනම් කරගනිමින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකුලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පළපුරුදු පුද්ගලික අංශයේ ආයෝජකයකු ව්‍යාපෘතිය සංවර්ධනය නිර්මාණය, ඉදිකිරීම, මූල්‍යනය හා ක්‍රියාත්මක කිරීමේ පදනම මත තෝරාගෙන ඇත.

May be an image of 6 people, people standing and people sitting
May be an image of one or more people and people standing
May be an image of 1 person and outdoors

About The Author