Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහින්දානන්දට මානසික පීඩනය : එයා කියන ඒවා අදාළ කරගත යුතු නෑ : ලංකාවේ නැනෝ පොහොර මුදලාලි කියයි

මම කරන්නේ බිස්නස් එකක් – මගේ ගානට ගන්න ආණ්ඩුව එකඟවුණා

ඉන්දියාවේ සිට නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බවද මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතිනවා.

ඉන්දියාවේ රුපියල් හයසිය හතලිහක පමණ වටිනාකමකින් යුත් දියර පොහොර බෝතලයක් ලංකාව මිලදී ගෙන ඇත්තේ රුපියල් 2500 ක පමණ මුදලකට බව මේ වන විට හෙළිව තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය ඉන්දියාව වැඩි මිලට අලෙවිකර කර ඇත්නම් රාජතාන්ත්‍රික මට්ටමින් ඒ පිළිබඳව මිල අඩු කිරීමට උත්සාහ දරණ බවයි.

කෙසේ වෙතත් රජය විසින් සෘජුවම මෙම පොහොර තොගය මෙරටට ආනයනය කරන බව පැවසුනද අද සැබැවින්ම එම පොහොර ආනයනය කර ඇත්තේ පුද්ගලික සමාගමක් හරහා බව හෙළි වුණා.

සීමාසහිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් නමැති පුද්ගලික සමාගම හරහා මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීම සිදුකර ඇති බව අද අනාවරණය වුණා.

එම සමාගමේ සභාපති මොහාන් පෙරේරා මහතා අද ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ පොහොර ආනයනයේ දී වංචාවක් සිදුව ඇති බවට එල්ල වන චෝදනා තම ආයතනය ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මානසික ආතතියෙන් යුක්තව සිදු කරන ප්‍රකාශයන් නොසලකා හැරිය යුතු බව ද ඔහු සඳහන් කළා.

තමා ව්‍යාපාරිකයෙකු බවත් පොහොර ආනයනය කරනු ලැබුවේ රජයේ පිළිගත් ක්‍රමවේද යටතේ බවත් පැවසූ ඒ මහතා මිල තීරණය කිරීම තම ආයතනයේ කාර්ය බව ද සඳහන් කළා.

අදාල පොහොර තමන්ගෙන් මිලදී ගැනීම රජයේ කටයුත්තක් බවත් සඳහන් කළ මොහාන් පෙරේරා මහතා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්දියාව සමඟ සාකච්ඡාකර මිල අඩුකර ගැනීමට යාම සිදු කළ නොහැක්කක් බව ද පෙන්වා දුන්නා.

තම වෙළඳ ගිවිසුමට අනුව එලෙස පොහොර මිල අඩු කළ නොහැකි බව පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි යම් මුදලක් අඩුකර පොහොර ලබාදීමට තමා පියවර ගත් බවයි.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ අදාළ පොහොර යම් ලෙසකින් අසාර්ථක වුවහොත් වන්දි ලබාගැනීමේ හැකියාවක් ඇත්ද යන්නයි.

ඊට ප්‍රතිචාර දැක්වූ සීමාසහිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් හි සභාපතිවරයා සදහන් කළේ එය තම වගකීමක් නොව රජයේ වගකීමක් බවයි.

About The Author