Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිස්පති ධුරය දේශබන්දුට !

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ මේ මස 20 වන දින විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම බොහෝ දුරට ඉඩකඩ ඇති බව අභ්‍යන්තර තොරතුරු ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

ජේෂ්ඨත්වය මතය පොලිස්පති තනතුර සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ නම් ඒ අතරට ඇතුළත්.

කෙසේ වෙතත් ඔවුන් තිදෙනාටම රාජකාරි සම්බන්ධයෙන් ඇගයීම් මෙන්ම බරපතල චෝදනා ද එල්ල වී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම, මැයි 09 වන දා මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම ඇතුළු කරුණු රැසක් එම චෝදනා අතරට ඇතුළත්.

කෙසේ වෙතත් පවතින වාතාවරණය අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට බොහෝවිට පොලිස්පති ධුරයේ හිමිවනු ඇති බවට තොරතුරු දැනගන්නට තිබෙනවා.

නමුත් ඊට පොලිසිය අභ්‍යන්තරයේ යම් විරෝධයක් එල්ල වී ඇති අතර පිරිසක් එය නිලන්ත ජයවර්ධන මහතාට හිමිවිය යුතු බවට අදහස් පල කරමින් සිටින බවද දැනගන්නට ලැබෙනවා.

තුන්කොන් සටන තුල පතිනායක මහතාටද සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බවද සඳහන්.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු නිලධාරීන් අට දෙනෙකු ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟට පොලිස්පති ධුරය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

වාර්තා වන අන්දමට පොලිස්පති වරයා පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සෘජුව මැදිහත් වෙමින් ජනාධිපතිවරයා වෙත ද කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පති වරයා පත් කිරීමේදී අදාළ පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කල යුතුයි.

About The Author