Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු ප්‍රහාරය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිතාමතාම සහරාන්ට අවස්ථාව සලසා දුන් බවට චෝදනාවක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සම්බන්ධයෙන් සලකා බැලීමට ඒ පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව නිර්දේශ කර තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවා.

කොමිසමේ අවසන් වාර්තාවෙන් පුද්ගලයින් පිරිසකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශකර තිබෙනවා.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා පත් කළ කොමිසමින්ම ඔහු වරද කරුවෙක් වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකාබැලිය යුතු බවට කොමිසම නිර්දේශ කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 16 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස් තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවත් කොමිසම නිර්දේශ කර තිබෙනවා.

හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේ දී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර මහතා, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම පෙන්වාදී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර තිබෙනවා.

අන්තවාදී බොදුබල සේනාවත්” පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ

මේ අතර බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට  කොමිසම නිර්දේශ කරඇති බවද වාර්තා වනවා.

එමෙන්ම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකාබැලීම සඳහා උන්වහන්සේ විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප්‍රදේශවල සිදුකළ කතා නීතිපතිවරයා විසින් සලකාබැලිය යුතු බව  කොමිසන් සභාවේ තවත් නිර්දේශයකි.

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් විසින් සිදුකරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු බවත් සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බවත් කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් වන බව වාර්තාවනවා.

කොමිසන් සභා වාර්තාව අද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන් අතර එය මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී ඇති බව වාර්තා වනවා.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ බොදුබල සේනා සංවිධානය තහනම් කළයුතු බවට සඳහන්වීම සම්බන්ධයෙන් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (23) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා.

එහිදී “අපි ද මේ රට පාලනය කළේ. හෙළිදරව් කිරීම වරදක් නම් ඕන විදිහකින් මුහුණ දෙන්නම්. ” යනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුහ.

About The Author