Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පන්සලේ අලි අපි බලාගන්නම් කැලේ අලි ඔයාලා බලාගන්න – කිරින්දේ අස්සජි හිමි පරිසර සංවිධානවලට කියයි

අලි පැටවුන් නිදහස් කිරීමේ තීරණය අගය කළ යුතු බවත් පවසයි

පෙරහැරේ යන අලි ගැන පන්සල් බලා ගන්නා බැවින් අලි මිනිස් ගැටුම්වලට මැදිව දුක්ඛදායී ලෙස මියයන වන අලි ඇතුන් ගැන බලාගන්නැයි හීලෑ අලි ඇතුන් කිහිප දෙනා පස්සේ දුවන රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටින බව කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවැසූහ.

දළ ලබා ගැනීමට, කෙඳි ලබාගැනීමට මරා දමන අලි ඇතුන් මෙන්ම අලිමිනිස් ගැටුමට මැදිව මියයන අලි ඇතුන් ද හක්ක පටස් වැනි උගුල්වට අසුව දුක්ඛදායි ලෙස මියයන අලි ඇතුන් ද ගැන සොයා බලා අලි මිනිස් ගැටුම අවසන් කරන්නට යම් පියවරක් ගන්නැයි ද රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටින බව උන්වහන්සේ පැවැසූහ.

ආහාර සොයා ගම්වදින අලි ඇතුන් නිසා ජනතාවත් අලි ඇතුනුත් මියයන අවස්ථා ඇතැයි ද ඒ නිසා ඔවුන් වෙනුවෙන් වනාන්තර තුළ ආහාර සුලබ කිරීම සඳහා යම් පියවරක් ගන්නැයි ද උන්වහන්සේ රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටියහ.

විශේෂයෙන් අලි ඇතුන් ආහාරයට ගන්නා ඉරිගු වැනි ශාඛවල බීජ උක්දඬු කැබලි වැනි දෑ වැසි සමයන්හි දී වනාන්තර වලට ගුවනින් ගෙන ගොස් දමන්නැයි ද වනාන්තරවල ඇති වැව් අමුණු සකසන්නැයි ද එයින් අලි ඇතුන්ට ආහාර හා ජලය සුලබ වන නිසා ගම්වැදීමෙන් වළකිනු ඇතැයි ද අස්සජි හිමියෝ කීහ.

පසුගිය සමයේ හිමිකරුවන් විසින් ආදරයෙන් හා කරුණාවෙන් බලාගත් හීලෑ අලි ඇතුන් රජය භාරයට ගැනීම ගැන මහා සංඝරත්නයට හිත් රිදීමක් හා කතිකාවක් තිබුණේ යැයි ද අලි පැටවුන් පහලොස් දෙනා නිදහස් කර පෙර භාරකරුවන්ට භාර දීම පිළිබඳව රජයට ස්තුතිවන්ත වන්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.

ගංගාරාමාධිකාරි අස්සජි හිමියෝ මේ අදහස් පළ කළේ ගංගාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ අලියෙකු බලා ගැනීම සඳහා මසකට රුපියල් ලක්ෂ තුනක් වැය වන අතර පසුගිය සමයේ රජය භාරයට ගත් අලි පැටවුන් 40 දෙනා බලා ගැනීම සඳහා රජය මසකට රුපියල් ලක්ෂ 120 ක් පමණ මාසිකව වැය කර ඇතැයි ද කියා සිටියහ.

ගෘහස්ත අලි ඇතුන් ඇත්තේ 104 දෙනෙකු පමණකැයි ද, ඔවුන් වෙනුවෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය ඉතා අනගි එකක් බව ද කී අස්සජි හිමියෝ ගෘහස්තව අලියෙකු හැදීමේ දී ගොව්වා හැසිරිය යුතු පිළිවෙල පවා  දක්වා ඇති එම ගැසට් පත්‍රය හේතුවෙන් ගෘහස්ත අලි ඇතුන්ගේ රැකවරණය ස්ථිරසාර ලෙස සැළසෙන්නේ යැයි ද කියා සිටියේය.

© ලංකාදීප

About The Author