Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නැගෙනහිර ජැටියත්, බටහිර ජැටියත් දෙකම ජාතික සම්පත්, විකුණන්ත්න දෙන්න බෑ – වරාය වෘත්තීය සමිති , ඇල්ලේ ගුණවංශ හිමි යළිත් සටනට

ඉකුත් දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද යෝජිත කොළඹ වරාය බටහිර පර්යන්තය (WCT) ඉන්දියානු ආදානි සමාගම ප්‍රමුඛ ව්‍යාපාරික හවුලකට පැවරීම යනු කොළඹ වරාය විනාශ කර දැමීමේ උත්සහයක් බව වරාය වෘත්තීය සමිතිවල අදහසයි.

මීට පෙර කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය කෙසේ හෝ ඉන්දියානු ආදානි සමාගමට පැවරීමට ආණ්ඩුව උත්සාහ ගනු ලැබුව ද, එය වළක්වාලීමට වරාය වෘත්තීය සමිති 23ක් සමඟ එක් වූ බලපෑම් කණ්ඩායම් රැසකගේ මැදිහත් වීම නිසා හැකි විය.

කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය යනු මීටර් 1,400ක් දිග මීටර් 20ක් ගැඹුරු දකුණු කොළඹ වරාය සතු විශාලතම පර්යන්තයයි. මෙරටට වාර්ෂිකව පැමිණෙන බහාලුම් අතුරින් 82.7%ක් අයත් වන්නේ ප්‍රති අපනයනයටයි. ශ්‍රී ලංකාව වෙත ලැබෙන්නේ මුළු බහාලුම් ප්‍රමාණයෙන් 17.3%ක් ලංකාවේ පරිභෝජනයට ගැනෙන බවයි වාර්තා වන්නේ. නැඟෙනහිර පර්යන්තය බේරා ගැනීම පිළිබඳ සටනේ දී ආණ්ඩුව ප්‍රකාශ කර සිටියේ, එම 82.7ක සමස්ත ප්‍රති අපනයන ප්‍රමාණයෙන් 66%ක් යොමු වන්නේ ඉන්දියාවට බවයි.

එවැනි විශාල ප්‍රතිඅපනයන බහලුම් වෙළෙඳපොළ ඉන්දියානු වෙළෙඳ අධිකාරියක් වෙත ලබා දීම යනු මෙරට ප්‍රතිඅපනයන ආදායම ශ්‍රී ලංකා වරාය අධිකාරියට අහිමි කිරීමේ සැලැසුමක් බවයි මේ පිළිබඳව අප කළ විමසීමේ දී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පැවසුවේ:

“බටහිර පර්යන්තය ඉන්දියාවට දීලා නැඟෙනහිර පර්යන්තය අපිට තිබුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. අනෙක මේ ගැන ආණ්ඩුවේ අය කියන්නේ මේක ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ක අපේ රට අත්සන් කරපු ගිවිසුමක් කියලයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ, මේක මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී අත්සන් කළ ගිවිසුමක් කියලයි. මේ අය කියන්නේ, මේ ගිවිසුම රනිල් වික්‍රමසිංහ පාලනයේ දී අත්සන් කළ ගිවිසුමක් කියලයි. කවුරු කොහොම කිව්වත්, මේ ගිවිසුම කියන්නේ බැංකුවක් එක්ක අත්සන් කළ ගිවිසුමක්. ආණ්ඩුව බලය ගන්න කොට කිව්වේ, විකුණපු දේවලුත් බලය යොදලා ආයෙමත් මේ රටට ගන්නවා කියල නේ. ඉතින්, ඇයි දැන් ආණ්ඩුව බැංකුවක් එක්ක අත්සන් කරපු ගිවිසුමකට මෙච්චර දීන විදිහට රාජ්‍ය දේපළ විකුණන්න හදන්නේ”යි ඔහු විමසා සිටියේ ය.

“අපි කියන්නේ, බටහිර පර්යන්තයත් රාජ්‍ය දේපළක් විදිහටම සංවර්ධනය කරන ලෙසයි. ඒකට ඉක්මන් වීමේ තත්ත්වයක් නැහැ. දැනට යොදාගෙන තියෙන ආකාරයට නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමෙන් අනතුරුව බටහිර පර්යන්තයත් අපට සංවර්ධනය කරන්න පුළුවන්.” යැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසී ය.

“කවුරු අත්සන් කළත්, රටේ දේපළ සම්බන්ධව අත්සන් කරලා තියෙන්නේ, දේශද්‍රෝහී ගිවිසුමක්. ඒ නිසා දේශප්‍රේමීන් විදිහට ඉන්න කවුරුන් හෝ ඉන්නවා නම්, අපි ආරාධනා කරන්නේ කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය ජාතිය සතු කළා වගේම ඒකාබද්ධ අරගලයකින් බටහිර පර්යන්තය කියන රාජ්‍ය දේපළත් ආරක්ෂා කර ගන්න එක්වෙමු කියන එක” ලෙසයි.

ඇල්ලේ ගුණවංශ හිමිගේ මතය

මේ අතර බටහිර පර්යන්තයේ කොටස් හිම්කාරිත්වය විකුණා දැමීමට එරෙහිව අදහස් පළකරන ආණ්ඩුවට හිතෛෂී ස්වාමීන් වහන්සේ නමක වන ‘දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ’ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කරන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තය පමණක් නොව මේ රටේ කිසිම ජාතික සම්පතක් විකුණනවාට තමන්වහන්සේ එකඟ නැති බවයි.

ඉන්දියාවේ ආදානි සමාගම හා ජපාන රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය පැවරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඇල්ලේ ගුණවංශ හිමියෝ මේ බව කීහ.

එහි දී තව දුරටත් අදහස් දැක් වූ ගුණවංශ හිමියන්

“මෙරට ජාතික සම්පත් විකුණනවාට මම එකඟ නෑ. ඈත අතීතයේ ඉඳලා අපේ රටේ ජාතික සම්පත් අපේ උරුමයන්, වස්තූන් ලෙසයි සැලකුවේ. ජල සම්පත, භූමි සම්පත, වන සම්පත, දරු සම්පත ලෙස අපි මේ ජාතික සම්පත් සැලකුවේ ඒ නිසයි.
“භූමි සම්පත අද විකුණගෙන යනවා. වන සංරක්ෂණ පනත් පවා වෙනස් කරමින් අක්කර දහස් ගණන් අපේ වනාන්තර බහුජාතික සමාගම්වලට මෑත ඉතිහාසයේ ඉඳලා අද දක්වා විකුණනවා. මේ නිසා අපේ භුමි සම්පත දැඩි අර්බුදයක තියෙන්නේ. මේ කාරණාවලට විරුද්ධව ඉදිරියට එන්න සියලු ජනතාවට වගකීමක් තියෙනවා.
“අද මේ කාරණාවල දී හැම දේටම ඉස්සරහට එන්නේ අපි කිහිප දෙනෙක් විතරයි. හැමෝටම මේ ගැන වගකීමක් තියෙන බව සිහි කර ගන්න ඕනේ. එම නිසා රටේ ජාතික සම්පත් රැකගන්න පක්ෂ, පාට, ජාතිභේදයෙන් තොරව හැමෝම පෙරට එන්න ඕනේ”
යනුවෙන්ද සඳහන් කළහ.

© මුලාශ්‍රය – ලංකා

About The Author