Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“තමන්ගේ වැරදි අනුන්ගේ පිටින් යවන්න එපා” ඕමල්පේ සෝභිත හිමි ජනපතිට කියයි

වැරදි කරපු කී දෙනෙකුට දඬුවම් දුන්නාදැයි අසයි

වගකිව යුතු ජනාධිපතිවරයෙකු ලෙස වංචනික, දූෂිත ක්‍රියාවටන්ට සම්බන්ධවූවන් තමන් පත්කරනු ලැබූ නිලධාරීන් කී දෙනෙක්ට මේ දක්වා දඬුවම් දී ඇත්දැයි ගෝටාබය ජනාධිපතිවරයාගෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රශ්න කර සිටී.

ජනතාවට ජීවත් වීමට නොහැකි ලෙස ජන ජීවිත අවුල් වී ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එල්ල වන චෝදනා නිලධාරීන් පිටින් යවමින් නිලධාරීන් කඩාකප්පල්කාරී ලෙස හැසිරෙන බවට ජනාධිපතිවරයා පැවසීම කණගාටුදායක තත්වයක් බව උන්වහන්සේ පවසයි.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ,

“වර්තමානයේ පැනනැගී තිබෙන අතිශය කනගාටුදායක දරිද්‍රතාවය, අනාරක්ෂිතභාවය, දිළිඳු බව අද උහුළා ගන්න බැරි තත්වයකට පත් වෙලා. ජනතාව ඇඩූ කඳුළින් ඉන්නේ. රජය මේ සියලු වැරදි උපහාසාත්මකව දකින්නේ. ජනාධිපතිතුමා මේ සියලු වැරදි නිලධාරීන් පිටින් යවනවා. තමන් ඉදිරිපත් කරන යහපත් ව්‍යාපෘති නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ නෑ කියනවා. නිලධාරීන් කඩාකප්පල් කරනවා කියනවා. කවුද නිලධාරීන් පත් කළේ? කවුද ඇමති මණ්ඩලය පත්කළේ? අදාළ සියලු වගකිව යුත්තන් පත්කළේ ජනාධිපතිවරයා. එහෙනම් නිලධාරීන්ට ඇඟිල්ල දික්කරන්න පුළුවන් කමක් නෑ. නිලධාරීන් වැරදි කරනවා නම් ඔවුන්ට පත්වීම් දීපු ප්‍රධානියා වගකියන්න ඕන. අපි සෘජු ලෙසම අහනවා ජනාධිපතිතුමාගෙන් වැරදි කරපු නිලධාරීන් කී දෙනෙක්ට දඬුවම් දුන්නද කියලා. ගෑස් පිළිබඳ ප්‍රශ්නය, සීනි ප්‍රශ්නය, කිරි පිටි ඇතුලු සෑම ක්ෂේත්‍රයකම පවත්නා ප්‍රශ්න අපි දන්නවා නිලධාරීන් දැනුවත්ව මැති ඇමතිවරුන්ගේ උපදෙස් පරිදි සිදුවෙච්ච දේවල්. ඒ කිසිවෙක්ට නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගත්තද?”

යනුවෙන් පැවසීය.

About The Author