Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජමාල් කෂෝගි ඝාතණ සැලැස්ම.

2018.10.02 වන දින පස්වරු 01.14ට ජමාල් කෂෝගි නමැති සෞදි ජාතික මාධ්‍යවේදියා අතුරුදන් විය. පුදුමයට හේතු වූයේ ඔහු අවසන් වරට ඇතුළු වන්නේ තුර්කි රාජ්‍යය තුළ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලයට වීම ය. කෂෝගි සමඟ විවාහ වීමට සිටි හතීස් සෙන්ගිස් නමැති තැනැත්තිය ඔහු නැවත පැමිණෙන තෙක් තානාපති කාර්යාලයේ දොරකොඩට වී බලා සිටියා ය. එනමුත් කෂෝගි නැවත පැමිණියේ නැත.

ජාත්‍යන්තරය දැඩි ව කියා සිටින්නේ නියත වශයෙන් ම සෞදි තානාපති කාර්යාලය තුළ දී ජමාල් කෂෝගි මරණයට පත් කරන ලද බව යි. මේ වන විට ඇමරිකා එක්සත් ජනපද බුද්ධි අංශ නිළධාරීන් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කරන ලද විමර්ශන වාර්තාව ද එළි දැක්වී තිබේ. එම වාර්තාව අනුව කෂෝගිගේ මරණ වරෙන්තුව නිකුත් කර තිබෙනුයේ සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසිනි. ඔහුගේ ළඟ ම හිතවතුන් වන සවුද් අල් කටානි, සලා අල් දුබයිජි, මුස්තාෆා අල්මදානි, මහේර් අබ්දුල්අසිස් මුත්රෙබ් සහ අහමඩ් අල් අසිරි යන නිළධාරීන් මෙම ඝාතණය සිදු වන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි බව ද ඉන් කියවේ. එහෙත් කුමරු හෝ අන් කිසිවෙකු අද වන තුරුත් අදාළ චෝදනාව පිළිගෙන නැත.

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාලයේ දී ආරම්භ කෙරුණු කෂෝගිගේ විමර්ශනය නව ජනාධිපති ජෝ බයිඩෙන් විසින් කඩිනම් කෙරිණි. දින කිහිපයක් මුළුල්ලේ ම ඇමරිකාව එම වාර්තාව නිකුත් කිරීමට යන බවටත්, එහි අන්තර්ගත කරුණු හේතුවෙන් සෞදි ඔටුන්න හිමි කුමරු හට ගැටලු ඇති විය හැකි බවටත් ප්‍රසිද්ධ කළහ. කෂෝගි එම කාර්යාලය තුළට ගොස් තිබුණේ කිසිදු වැරැදි ක්‍රියාවකට නොවේ. ඔහු නැවත විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි අතර කෂෝගි ගොස් තිබුණේ ඊට අදාළ ලියකියවිලි ලබා ගැනීම පමණි. මෙයට දින කිහිපයකට පෙර ද ඔහු මේ ආකාරයෙන් ම, මෙම කරුණ උදෙසා ම එහි ගොස්, නැවත නිරුපද්‍රිත ව පැමිණ තිබිණි. කෂෝගිගේ විවාහ අපේක්ෂක තරුණිය පවසන්නේ පෙර අවස්ථාවේ දී ඔවුන් කෂෝගි ඉතා සාදරයෙන් පිළිගෙන, තේ පැන් සංග්‍රහයක් ද ලබා දී තිබුණු බව යි.

සෞදි රජය කියා සිටින්නේ ජමාල් කෂෝගි වැනි මාධ්‍යවේදියෙකු මරා දැමීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත කියා ය. ඔහු සිය කාර්යාලය වෙත පැමිනුණු බව පිළිගන්නා ඔවුන් පවසන්නේ පස්වරු 2.50ට පමණ කෂෝගි එතැනින් පිටත් ව ගිය බව යි. කෙසේ වුවත් මෙයට වසර කිහිපයකට පෙර සිට ම ඔහු සෞදි රජය විවේචනය කරමින් ලිපි ලියා තිබිණි. ඝාතණයට ආසන්නතම හේතුව වශයෙන් සඳහන් වී ඇත්තේ ද ඔහු විසින් ලියන ලද ලිපියකි. එහි දී කෂෝගි නව රැඩිකල්වාදියෙකු වීම ගැන ඔටුන්න හිමි සල්මාන් කුමරු හට දැඩි ව දෝෂාරෝපණය කරයි. කෙසේ වුවත් බින් සල්මාන් කුමරුන් පවසන්නේ කෂෝගි සිය රාජකීය පවුලේ සමීප හිතවතෙකු වූ හෙයින් ඔහු ඝාතණය කිරීමට අවශ්‍යතාවක් නොතිබුණු බව යි. එසේ නම් කෂෝගි සිය මවුරට හැර දමා තුර්කිය වෙත පළා ගියේ මන්ද? යන ගැටලුව මතු වේ. තව ද, 2017 දී බින් සල්මාන් පවසා තිබුණේ තමන්ට කෂෝගි වෙතට බුලට්ටුවක් යැවීමට සිතෙන බව යි.

සාක්ෂි මොනවා ද?

සැබැවින් ම කියතොත් සෞදි අරාබියානු තානාපති කාර්යාලය තුළ දී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතණයට ලක් කෙරුණු බව සනාථ කිරීම සඳහා ඇත්තේ වීඩියෝ සහ හඬපට කිහිපයක් පමණි. ඉන් එකක පෙන්වා දෙන්නේ 2018.10.02 වන දින පස්වරු 1.14.37ට කෂෝගි ඉතා සැහැල්ලුවෙන් තානාපති කාර්යාලය තුළට ගමන් ගන්නා බව යි. දෙවනුව කතාව ගොඩ නඟා ගැනීම සඳහා තිබෙන්නේ හඬපටයකි. එහි දී බියපත් කටහඬකින් කෙරෙන මෙම ප්‍රකාශන හේතුවෙන් සිරුර හිරිගඩු නැංවෙයි.

“Are you gonna do that to me?” (ඕගොල්ලො මට ඕක කරන්නද හදන්නේ?)

“Are you gonna give me an injection?” (ඕගොල්ලො මට එන්නතක් විදින්නද හදන්නේ?)

එම ප්‍රශ්නය වෙනුවෙන් ඔහුට ලැබෙන පිළිතුර “ඔව්” යන්න යි.

“Am I being kidnapped?”

(මාව පැහැරගෙන ද තියෙන්නේ?)

“How could this happen in an embassy?”

(තානාපති කාර්යාලයක් ඇතුළේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ද?”)

අනතුරුව නැඟෙන ශබ්දයෙන් එළඹිය හැකි නිගමනය වන්නේ කෂෝගිගේ හිස වැසෙන සේ කිසියම් පොලිතින් උරයක් දැමුණු බව යි. හුස්ම සිර වීමෙන් ඔහුට කතා කර ගැනීමට අපහසු වන ශබ්දය ද එම හඬ පටයට ඇතුළත් වේ. 

ඊළඟ වීඩියෝ පටයෙහි දැක්වෙන්නේ තානාපති කාර්යාලය වෙත ගමන් ගන්නා කළු පැහැති එක ම වර්ගයේ මෝටර් රථ කිහිපයක්, මඳ වේලාවකට පසු පිටත් වන ආකාරය යි.

ඝාතණය සිදු වූයේ කෙසේ ද?

මෙම සාක්ෂි මත පදනම් ව “අල්ජසීරා” රූපවාහිනිය විසින් ජමාල් කෂෝගිගේ ඝාතණය ත්‍රිමාණ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කර තිබේ. ඒ අනුව අදාළ ඝාතණ සැලැස්ම ආරම්භ වන්නේ පසළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රියාද් නුවර සිට ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය වෙත පැමිණීමෙනි.

පෙර සඳහන් පරිදි ඔක්තෝබර් මස 02 වන දින 1.14ට කෂෝගි කාර්යාලයට ඇතුළු වේ. එහි දී ආරක්ෂකයින් විසින් පිලිගනු ලබන කෂෝගි හට දෙ වන මහලට යන ලෙසට උපදෙස් ලැබෙයි. ඒ තානාපතිවරයා හමු වන පිණිස යි. තානාපතිවරයාගේ ප්‍රධාන කාර්යාලය තුළ පෙර කී කණ්ඩායම කෂෝගි පැමිණෙන තෙක් බලා සිටිති. එහි දී මහේර් අබ්දුල්අසිස් මුත්රෙබ් හා කෂෝගි හමු වෙයි. ඔහුගේ කාර්යය වන්නේ කෂෝගි විසින් සෞදි කුමරු පිළිබඳ කරමින් තිබෙන විවේචන වහා නවතා දමන ලෙස අවසන් වරට අනතුරු ඇඟවීම යි.

මුත්රෙබ් විසින් කෂෝගි වෙතට අවස්ථා දෙකක් ලබා දෙනු ලැබේ. එක්කෝ ඔහු නැවත රියාද් නුවර සිටින තම දූ දරුවන් වෙත යා යුතු ය. නැතහොත් කට වසාගෙන සිටිය යුතු ය. කෂෝගි මෙම තීරණ දෙකට ම අකැමැති වෙයි. එහෙයින් මුත්රෙබ් දුරකතන ඇමතුමක් ලබා ගනියි. පසුව වධ දෙනු පිණිස භාවිත කෙරෙන උපකරණ කට්ටලයක් මේසය මත දිග හරිනු ලැබේ. තම තීරණවලට සහයෝගය නොදුනහොත් ඒවා භාවිත කිරීමට සිදු වන බව කෂෝගි හට තර්ජනය කරනු ලැබේ. එහෙත් ඔහු කැමැති වන්නේ නැත.

එක්වර ම මිනිසුන් පස් දෙනෙකු වට වී කෂෝගි අල්ලා ගනිති. එක් අයෙක් ඔහුගේ හිස සහ මුහුණ වැසෙන සේ ප්ලාස්ටික් බෑගයක් දමයි. බෑගය උපයෝගී කර ගනිමින් කෂෝගිගේ හුස්ම සිර කරනු ලැබේ. ඔහු මිය යයි. මේ සියල්ල සිදු වීමට ගත වන්නේ මිනිත්තු හතහමාරක් පමණි.

මුස්තාෆා අල්මදානි විසින් මිය ගිය කෂෝගිගේ ඇඳුම් ගලවනු ලබන අතර, ඉන් සමහරක් ඇඟ ලා ගැනීමට ද පසුබට නොවේ. ඒ, පසු ප්‍රයෝජනය පිණිස ය. අන්‍යයන් ඔහුට විහිළු කරන්නේ මරා දැමුණු පුද්ගලයෙකුගේ ඇඳුම් ඇඟ ලා සිටීම ජුගුප්සාජනක වන බව පවසමිනි. 

මේ අතරතුර සලා අල් දුබයිජි පැමිණ විදුලි කියතක් භාවිතයෙන් කෂෝගිගේ නිරුවත් මළ සිරුර කොටස් කිහිපයකට වෙන් කරනු ලැබේ. ඒ, පස්වරු 1.55ට පමණ ය. ඔහු එය සිදු කර තිබුණේ මඳක් අපහසුවෙනි. මන්දයත් දුබයිජි මින් පෙර එවෙලෙහි ම මිය ගොස් උණුසුම රැඳී තිබෙන මළ සිරුරක් කපා දමා නොතිබුණු බැවිනි.

පස්වරු 2.52ට පමණ කෂෝගිගේ ඇඳුමින් සැරසුණු මුස්තාෆා අල්මදානි ලහි ලහියේ තානාපති කාර්යාලයෙන් පිට ව යයි. 

සෞදි තානාපති කාර්යාලය තුළට විශාල පොලිතීන් මලු බොහෝ සංඛ්‍යාවක් රැගෙන යන ආකාරය සී.සී.ටී.වී. දර්ශන කිහිපයක සටහන් වී තිබේ. පසුව එක ම ස්වරූපයේ මෝටර් රථ 7ක් කාර්යාලය වෙත පැමිණෙන අතර, මඳ වේලාවකින් ඒවා එකිනෙකට වෙනස් මාවත් 7ක් ඔස්සේ පිටත් ව යයි. මේවා තුළ කෂෝගිගේ මළ සිරුරේ කොටස් රැගෙන යන්නට ඇති බව කියවේ.

එදින රාත්‍රියේ පෞද්ගලික ජෙට් යානා දෙකක් ඉස්තාන්බුල් නුවරින් පිටත් වේ. එක් යානයක් ඊජිප්තුවේ කයිරෝ නුවර වෙත ද අනෙක ඩුබායි වෙත ද යැවේ. නැවත එම යානා දෙක ම සෞදි අරාබියේ රියාද් නුවර වෙත ගමන් කරයි.

සැබැවින් ම සිදු වූයේ මෙය ම බවට තහවුරු කර ගැනීමට අපහසු ය. එනමුත් 2018 ඔක්තෝම්බර් මස 02 වන දින පස්වරු 1.14ට සෞදි තානාපති කාර්යාලය වෙත ඇතුළු වූ ජමාල් කෂෝගි අද වන තුරු නැවත පැමිණියේ නැත.

https://www.facebook.com/aljazeera/videos/303681470309091

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author