Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගිනිගත් නැව ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි ද?

මේ වන විට ජාත්‍යන්තර වශයෙන් පවා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති X – Press Pearl නෞකාවේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව එකිනෙකට පරස්පර අදහස් පළ කිරීමට පටන් ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම නෞකාවන් ගිනිගෙන මුහුදු බත් වීම සම්බන්ධයෙන් අදාළ වූ වන්දි මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් ද මෙම පරස්පරතාවයන් නිර්මාණය වී තිබෙනවා.

සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ සිදුව ඇති පරිසර දුෂණය සම්බන්ධයෙන් නෞකාව අයත් සමාගමට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කරමින් අදාළ වන්දි මුදල් අය කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් එහි කපිතාන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අපරාධ නඩුවක් ගොනුකර ඇති බවත් සිවිල් නඩුවක් සඳහා වැඩි කාලයක් ගතවන බවත් ඔහු පවසනවා.

කිසිවිට නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුගෙන්ම අප කළ විමසීමකදී සඳහන් කළේ යම් කිසි වරායක් යම් නෞකාවකට සිය වරාය සීමාවට ඇතුළත්වීම සඳහා අවසර ලබා දෙන්නේ නම් නෞකාවකට සිදුවන හදිසි උපද්‍රවයක් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වීමේ පහසුකම්වලින් අදාල වරාය සමන්විත විය යුතු බවයි.

කෙසේවෙතත් අදාළ නෞකාව ගිනිගන්නා අවස්ථාවේ දී එම ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව අවශ්‍ය පහසුකම් නොතිබූ බව මේ වන විට හෙළිවී තිබෙනවා.

එවන් වටපිටාවක් තුළ නෞකාව අයත් සමාගම හරහා වන්දි මුදලක් අය කර ගැනීමේ සිදුවීම ද යම් ආකාරයක අභියෝගයට ලක් විය හැකි කරුණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

යම් ආකාරයකින් නෞකාව හිමි සමාගම ද මෙම කරුණු මතු කරමින් එය අභියෝගයට ලක් කළ හොත් ශ්‍රී ලංකාවට දැඩි නීතිමය අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවටද ඔවුන් අනතුරු අඟවනවා.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අදාළ නෞකාව අයත් සමාගමෙන් වන්දි අයකර ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වීමේ අවදානමක් පවතින බව මීට පෙර සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් මේ කිසිවක් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට එළඹ නොමැති අතර පැවැත්වෙන පරීක්ෂණ අවසානයේ දී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතවම දැනගත හැකි වනු ඇති.

About The Author