Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගම සමඟ පිළිසඳරේ ප්‍රගති සමාලෝචනයට වෙනම ජනාධිපති කාර්ය සාධන බලකායක්, සභාපති නාමල්

“ගම සමග පිළිසඳර” වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම, ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම සහ පසු විපරම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

එය නම් කර ඇත්තේ “ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙස යි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, දිලුම් අමුණුගම, කංචන විජේසේකර, සීතා අරඹේපොළ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කපිල අතුකෝරල, සංජීව එදිරිමාන්න, නිපුන රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලයාන්) , චින්තක අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහූ එහි සෙසු සාමාජිකයන් වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවිය “ගම සමග පිළිසඳර” ග්‍රාමීය සංවර්ධන කාර්යයන් හා සම්බන්ධිත අවශ්‍ය සියලු තොරතුරු සම්පාදනය හා සම්බන්ධීකරණය භාරව සිටින අතර ,“ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාව ඉදිරිපත් කරන ලද ප්‍රශ්න හා ගැටලු විසඳනු පිණිස ජනාධිපතිවරයා විසින් ලබා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ වෙනත් සියලුම ආයතන ප්‍රධානීන් ද ඇතුළුව ප්‍රාදේශීය මට්ටමේ සියලු නිලධාරීන් සේවා අවශ්‍යතාව මත මෙහෙයවීම කාර්ය සාධක බලකායේ මූලික වගකීමක් බව සඳහන්.

ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල ජාතික මට්ටමේ රාජ්‍ය ආයතන මගින් 2021 – 2023 අය වැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන මාර්ග, පානීය ජල සම්පාදන, විදුලිය, දුරකථන සන්නිවේදන, ක්‍රීඩා පිටි, පාසල්, රෝහල්, වෘත්තීය අධ්‍යාපන ආයතන, නාගරික විශ්ව විද්‍යාල, ඉඩම් පැවරීම්, බැංකු හා මූල්‍ය පහසුකම්, වෙළෙඳ පොළ, ගබඩා හා යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීම බලකායට පවරා තිබෙන තවත් වගකීමක්.

රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළ යටතේ දේශීය හා විදේශීය අරමුදල් ඇතිව ක්‍රියාත්මක සියලුම ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාව තුළ ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරවීම ද මෙම කාර්ය සාධක බලකායෙන් අපේක්ෂා කර තිබෙනවා.

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ එබඳු ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන රාජකාරී ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ අවස්ථා තමාට වාර්තා කරන්නැයි ජනාධිපතිවරයා විසින් කාර්ය සාධක බලකායට නියම කොට විධාන කර ඇති බවද සඳහන්.

© ජනාධිපති මාධ්‍ය අංශය

About The Author