Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උගුරේ අමාරුවට බළල් මස්.

මේ දිනවල යමෙකුට උගුරේ අපහසුතාවක් දැනීම යනු හීන්දාඩිය දමන අවස්ථාවකි. පැතිර යන කොවිඩ් 19 වසංගතයේ පූර්ව ලක්ෂණයක් වන්නේ උගුරේ අපහසු ගතිය යි. ඉඟුරු, මී පැණි වැනි ඖෂධ යොදා ගනිමින් නිවසේ දී සකසා ගත හැකි තාවකාලික ඖෂධ පිළිබඳ බොහෝ ලාංකිකයෝ දනිති. එනමුත් 13 වන ශතවර්ෂයේ විසූ මිනිසුන් මෙවැනි හදිසි උගුරේ අපහසුතා මඟ හරවා ගැනීම සඳහා යොදා ගනු ලැබූ ප්‍රතිකර්මය කුමක්දැයි ඔබ දන්නවා ද?

හොඳින්, පුෂ්ටිමත් ලෙස වැඩුණු බළලෙකු සොයා ගන්න. ඌ මරා, හොඳින් පිරිසිඳු කරන්න. පසුව බඩ පළා, ඇතුළත ඇති අතුණුබහන් සියල්ල ඉවත් කර ගෙන, මස සහ හම පමණක් තිබෙන්නට හරින්න. අනතුරුව ඉත්තෑවෙකු සොයා ගෙන, උගේ තෙල් ඉවත් කර ගන්න. ඒ සමඟ ම වළසෙකුගේ තෙල් මන්ද ද ලබා ගන්න. “හනිසක්ල්” නම් වූ සුවඳැති මල් සහිත ශාකයක් සොයා ගන්න. එහි අග කොටස් කිහිපයක් සමඟ දුම්මල හා මහදුරු මිශ්‍ර කර ගන්න. ඒ සඳහා වංගෙඩියක දමා කොටා ගැනීම ප්‍රමාණවත් ය. එම මිශ්‍රණයට මී ඉටි දමා අනා ගන්න. පෙර දී වෙන් කර ගන්නා ලද ඉත්තෑ තෙල් සහ වළස් තෙල් මන්ද සමඟ පසුව කී මිශ්‍රණය එකතු කර ගන්න. අනතුරුව මේ සියල්ල පිරිසිඳු කර ගත් බළලාගේ උදරය තුළට ඇතුළු කර ගන්න. මිශ්‍රණය පිටතට නොඑන සේ විවරය වසා, බළලා පුළුස්සා ගන්න. අවසානයේ දී නැවත එම ද්‍රව්‍ය සියල්ල ඉවතට ගෙන, මිශ්‍රණයෙන් ස්වල්පයක් රෝගියාට ගිලීමට ලබා දෙන්න. බෙල්ල දෙපස ද ආලේප කරන්න. උගුරේ අපහසුතාව නිට්ටාවට ම සුව වනු ඇත. 

මෙම බළල් ප්‍රතිකර්මය කෙතරම් ප්‍රචලිත වී ද යත් වර්ෂ 1350 දී හදිසියේ දරුණු උගුරේ ආසාදනයක් හට ගත් අතිඋතුම් හයවන ක්ලෙමන්ට් පාප් වහන්සේට ද මේ ක්‍රමයට ම ප්‍රතිකාර කිරීමට ඔහුගේ වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. ප්‍රතිකාරයෙන් පාප්තුමන් සුව වී ඇති බව කියවුණ ද ඉන් අනතුරු ව නිර්මාණය වී ඇත්තේ නොසිතූ විරූ ගැටලුවකි. පාප්තුමන් පවා තමා වෙත සිදු කළ ප්‍රතිකාරය පිළිබඳ නිවැරැදි තොරතුරු දැනගෙන ඇත්තේ පසුව යි.

බැලූ බැල්මට පමණක් නොව ඇසූ පමණින් පවා අපුල දනවන මෙම බළල් මස් ගිලීමේ ප්‍රතිකාරය හේතුවෙන් පාප්තුමන් සුව වී ඇති බව දැන ගත් ඇතැමුන් පාප්තුමන් හමුවට ම පැමිණ අදාළ වෛද්‍යවරුන් හට දෝෂාරෝපණය කර තිබේ. පාප් තුමන් හමුවූ උන්වහන්සේගේ මිතුරකු මෙවැන්නක් පවසමින් අදාළ ප්‍රතිකාරය පිළිබඳ සිය විරෝධය පළ කර තිබේ.

“මම දන්නවා ඔබ අසනීප වුණා ම වෛද්‍යවරු ඇවිත් ඇඳ වට කරගෙන ඉන්න ඇති. ඔවුන් ඔබට මේ බළල් ප්‍රතිකාරය ලබා දී ඇත්දැකීම් ලබා ගන්නට ඇති. ඇත්තටම එය අප්‍රසන්න ප්‍රතිකාරයක්. මේ විදියට ගියොත් අපේ ලෙඩ දුක්වල දී විතරක් නෙමෙයි මරණයෙන් පස්සෙ එයාල අපේ මළ මිනියත් අරගෙන මේ විදියට අත්හදා බැලීම් කර කර අත්දැකීම් එකතු කරගනී. හරි ම පිළිකුල් සහගතයි.”

කැස්සට තුඹ.

සුදු තුඹ ශාකයෙන් කොටස් කිහිපයක් ගෙන, ඩයපෙනිඩියන් නමැති ඖෂධය සමඟ මිශ්‍ර කර කෑමට ගැනීමෙන් නොනවතින කැස්ස ඉතා ඉක්මනින් සුව වන බවට පුරාණ වෛද්‍යවරු විශ්වාස කළහ. 

මෙම වට්ටෝරුවේ සඳහන් වන සුදු තුඹ යනු මින්ට් ශාක පවුලට අයත් පැළෑටියකි. එහි මූලාරම්භය යුරෝපයේ දී සිදු වුව ද, මේ වන විට අදාළ පැළෑටිය උතුරු අප්‍රිකාව මෙන් ම ආසියාව තුළ ද දක්නට ලැබේ. ආදි යුගවල පටන් මෙය කැස්සට ඖෂධයක් ලෙස යොදා ගත් බවට සාක්ෂි ඇත. මෙහි එන ඩයපෙනිඩියන් යනු නිවසේ දී සාදා ගන්නා ලද පානයකි. ඒ සඳහා බාර්ලි වතුර, සීනි, බිත්තර සුදු මද ආදිය එකතු කොට සිහින් නූලක් මෙන් වැක්කෙරෙන තරමට මිශ්‍ර කර ගත යුතු ය. මෙය සැබවින් ම යුරෝපීයයන් විසින් කෑමට ගත් රසකැවිලි වර්ගයකි. එබැවින් එය ඖෂධයක් වුව ද එකල ජනතාව අද මෙන් දැඩි අකැමැත්තකින් නොව ඉතා සතුටින් බොන්නට ඇති බව සිතේ. ඇතැම් රටවල තවමත් මෙම ඖෂධ වර්ග දෙක එක් කොට සාදා ගත් පැණි විකිණීමට ඇති බව ද පෙනේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author