Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇතුළට ගන්න කලින් මනස ගැන සොයන්න

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා සියලුම නවක සිසුන් මෙම වර්ෂයේ සිට කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.

දැනට සිදුකරන කායික පරීක්ෂණයට අමතරව මානසික ‍වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවත් සිසුන් අතර පවතින මානසික ගැටලු හදුනා ගැනීම මෙමගින් අපේක්ෂා කරන බව ඒ මහතා කීවේය.

උපකුලපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ‍විශ්ව විද්‍යාලීය සනාථන මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් කිහිපදෙනකු සිය දිවි නසා ගැනිම පිළිබදව විශ්ව විද්‍යාලීය පාලන අධිකාරිය අවධානය යොමු කොට මෙම නව තීරණය ගත් බව කී ඒ මහතා, වෛද්‍යපීඨය‍ සහ කළමණාකරණ පීඨය සඳහා මේ වන විට නවක සිසුන් ඇතුල් කර ගත් බව ද කීවේය.

ලොව පිළිගත් උසස් අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලව පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ විෂය මාලා ක්‍රියාත්මක වන බවත් එම පාඨාමාලා හේතුවෙන් සිසුන් මානසික ගැටලුවලට බදුන්වීමට හේතුවක් නැතැයි ද ඒ මහතා කීහ.

නමුත් වසංගත තත්ත්වය හේතුවෙන් දෙවසරක් ආරම්භක පාඨමාලා අහිමිවූ සිසුන්ට මාර්ගගත අධ්‍යාපනයෙන් මිදී භෞතික අධ්‍යාපනයට යොමුවූ පසු මෙම ව්‍යාකූල තත්ත්වය ඇති විය හැකි බවට අනුමාන කළ හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

නමුත් උසස් මානසික තත්ත්වයට ගෙන ඒම සඳහා සිසුන් මානසික වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට අමතරව ක්‍රීඩා, කලා හා සංස්කෘතික කටයුතු ආදිය‍ වෙතද ඔවුන් යොමු කරන බව උපකුලපතිවරයා සඳහන් කළේය.

උපාධි අපේක්ෂක සිසුන් සඳහා අමතර ආදායම් හිමිවන අර්ධකාලීන රැකියා අවස්ථා ලබාදිමට මෙන්ම මෙම වර්ෂයේ සිට ශිෂ්‍ය සුභ සාධක අරමුදලක් ස්ථාපිත කිරිමට ද පියවර ගන්නා බව උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author