Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අලි පැටවුන් හොරකම නැවතත්! වනජීවී මෙහෙයුම් අතරේ වනජීවී නිලධාරීන්ට යුධ හමුදා ජනරාල්වරයෙකුගෙන් මරණීය තර්ජන

පසුගිය කාලයේ සමාජය තුළ දැඩි ආන්දෝලනයකට ලක් වූ අලි පැටවුන් හොරකම නැවත වතාවක් ආරම්භ වී ඇති බවට සැකයක් මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වෙනවා.

ඒ අලි පැටවෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වනජීවි නිලධාරින් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති පසුබිමකයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් දින කිහිපයක් තිස්සේ ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන්නේ අදාළ අලි හොරකම පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීම සඳහායි.

මෙලෙස මෙහෙයුම් වල නිරත වනජීවි නිලධාරී කණ්ඩායමක් විසින් ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ වාහන දෙකක් නිරීක්ෂණය කර තිබෙනවා.

ඉන් අනතුරුව එම වාහන නතර කිරීමට වනජීවී නිලධාරින් විසින් නියෝග කර ඇති අතර එම නියෝග නොතකමින් අදාල වාහන දෙක ගමන් කර ඇති බවයි පැවසෙන්නේ.

පසුව පොලිස් මාර්ග බාධක වලට ද අදාළ වාහන පිළිබඳ දැනුවත් කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

නමුත් අදාල වාහන එම මාර්ග බාධක වල ද නතර නොකරමින් පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම වාහන පසුපස වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ද ලුහුබැඳ ගොස් ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ යුධ හමුදා මූලස්ථානය අසල දී අදාළ රථය නතර කර තිබෙනවා.

ඉන්පසුව සිදුව ඇත්තේ අද අපේ සිට පැමිණි හමුදාවේ ජෙනරාල් වරයෙකු ලෙස තමා හඳුන්වා ගත් පුද්ගලයෙකු හමුදා නිලධාරීන් ලෙස තමන් හඳුන්වා දෙනු ලැබූ කණ්ඩායමක් විසින් අදාළ වනජීවී නිලධාරීන්ට තර්ජනය කර තිබෙනවා.

21 සේනාංකයේ ජනරාල් මොහාන් රත්නායක ලෙස තමන් හඳුන්වා දෙන අදාල පුද්ගලයා පවසන්නේ සිවිල් ඇඳුමින් සැරසී සිටින පුද්ගලයන් වාහනයක් නතර කරන විට තම වාහනය නතර කිරීමට තමන්ට පුරුද්දක් නොමැති බවයි.

එසේ පවසමින් පරුෂ වචනයෙන් වනජීවි නිලධාරීන්ට බැනවදින අදාල පුද්ගලයා සහ ඔහුගේ කණ්ඩායම වනජීවී නිලධාරීන්ගේ රාජකාරියද හෑල්ලුවට ලක් කළ බවයි වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ.

මෙම අවස්ථාවේදී වනජීවී නිලධාරීන්ට පහර දීමක් සිදු වූ බවට ද වනජීවී නිලධාරීන් විසින් චෝදනාව එල්ල කරනවා.

අදාල ජනරාල්වරයා පවසන්නේ තමන් දරුවන් ද සමග වාහනයේ ගමන් කරමින් සිටින මොහොතක මාර්ග බාධක යොදා වාහනය නතර කිරීම තම කීර්ති නාමයට කැලලක් බවයි.

මේ වන විටත් අදාළ සිදුවීම පිළිබඳව වනජීවී නිලධාරින් විසින් හබරණ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර තම රාජකාරියට හමුදා නිලධාරියකුගෙන් එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවයි ඔවුන් සදහන් කරන්නේ.

© මුලාශ්‍රය – A5 News.lk

About The Author